brand logo

පාර්ලිමේන්තුව වහාම කැඳවන්න - විපක්ෂ නායක

29 January 2020

කොරෝනා වෛරස් අවාදානම රටේ හදිසි තත්ත්වයක් සේ සලකා වහා පාර්ලිමේන්තුව◊කැඳවන ලෙසට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ආණ්ඩුවෙන් ඉල්ලා සිටී. මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා මෙසේද කියා සිටී. කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට චීනය මෙන්ම ලෝකයම තිගැස්මකට ලක්ව තිබේ. SARS කුලයට අයත් මෙම වෛරසය මුලින්ම වාර්තා වූයේ චීනයේ වුහාන් ප්‍රදේශයෙන්ය. ප්‍රතිජීවකවලට ප්‍රතිචාර නොදැක්වීමද වඩාත් සැලකිල්ලට ගත යුතු මෙහි විශේෂ තත්ත්වයකි. මෙම වෛරසය සම්බන්ධව ශ්‍රී ලංකාවද අවදානම් කලාපයක සිටින බවත්, වහාම ඒ පිළිබඳව රජය අවධානය යොමු කළ යුතු බවත් පසුගියදා මුල්වරට පාර්ලිමේන්තුවේදී මම ප්‍රකාශයක් කළෙමි. ඒ වන විට ලෝකයේම අවධානය මෙම ව්‍යසනය කෙරෙහි යොමුවී තිබූ අතර ශ්‍රී ලංකාව වහාම ලෝක සෞඛ්‍ය සංවිධානය, ඇමෙරිකාවේ ක්‍රියාත්මක රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය (සීඩීසී) ඇතුළු පාර්ශ්ව සමග සම්බන්ධීකරණය පවත්වමින් මේ ව්‍යසනයට විසඳුම් සෙවිය යුතු බවද මම සඳහන් කළෙමි. අදාළ වෛරසය ශරීරගත වී ඇති රෝගියකු මේ වන විට මෙරටින් හඳුනාගෙන තිබීමත් සමග අපේ රටද අවදානම් සහගත තත්ත්වයට පත්ව තිබේ. මේ මොහොතේ සමස්ත ශ්‍රී ලංකාව ආරක්ෂා කිරීම උදෙසා දේශපාලන මතිමතාන්තර ඉවත දමා වහාම සක්‍රිය මැදිහත්වීම ආණ්ඩුව ඇතුළු සියලු පාර්ශ්වවලට පැවරී තිබෙන වගකීමකි. විසිහතර පැයේ ආරක්ෂණ පද්ධතියක් ක්‍රියාත්මක කොට ශ්‍රී ලංකාව සෞඛ්‍යාරක්ෂිත දේශයක් කළ යුතුය. චීනයේ සිටින ශ්‍රී ලාංකිකයන් පිළිබඳව මූල්‍යමය රෙගුලාසි මත කටයුතු නොකර රජය මැදිහත් වී වහාම ශ්‍රී ලංකාවට ගෙන්විය යුතුයි. එමෙන්ම ඔවුන් මනා වෛද්‍ය පරීක්ෂණයකට ලක්කළ යුතුය. මෙරට සිටින චීන ජාතිකයන්ගේ සෞඛ්‍යමය සුරක්ෂිතතාව පිළිබඳව වහාම සොයා බැලීමට රජය කටයුතු කිරීම අත්‍යවශ්‍යය. රෝගී තත්ත්වය ඉන් ආරක්ෂාවන ආකාරය යනාදිය පිළිබඳව සියලු ක්‍රමවේද හරහා ජනතාව දැනුම්වත් කළ යුතුය. හදිසි අවශ්‍යතාවක් සේ සලකා කඩිනමින් පාර්ලිමේන්තුව කැඳවීම කළ යුතුය. මේ ජාතික ව්‍යසනකාරී අවදානම් මොහොතේ අප වෙතින් ඉටුවිය යුතු සියලුම වගකීම සහ මැදිහත්වීම සිදුකිරීමට අප සූදානම් බවද සඳහන් කළෙමු.
 

More News..