brand logo

පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට වැයවෙන මුදල් අඩු කරපු හැටි

25 November 2021

පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට දේශීය ආරක්ෂක උපකරණ

දේශීය වශයෙන් නිෂ්පාදිත ආරක්ෂක උපකරණ තොගයක් පාර්ලිමේන්තු සංකීර්ණයේ ආරක්ෂාව සදහා ප්‍රදානය කර තිබේ. පාර්ලිමේන්තු සංකීර්ණයේ ආරක්ෂක කටයුතු තහවුරු කිරීම පිණිස ආරක්ෂක අමාත්‍යාංශයේ ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය මගින් මෙම ආරක්ෂක උපකරණ තොගය පාර්ලිමේන්තුව වෙත භාරදී ඇත. ගුවන් ආරක්ෂක කටයුතු තහවුරු කිරීම සදහා භාවිත කරන ප්‍රතිඩ්‍රෝන ක්‍රියාකාරී පද්ධතියක් සහ ආරක්ෂක සන්නිවේදන උපාංග මෙම උපකරණ තොගයට ඇතුළත්ය. මෙම උපකරණ තොගය ආනයනය කළේ නම් ඒ සදහා රු. මිලියන 19 කට ආසන්න මුදලක් වැය වන බවත්, ආරක්ෂක අමාත්‍යාංශයේ ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය මගින් දේශීය වශයෙන් නිෂ්පාදිත මෙම උපකරණ සදහා වැයවී ඇත්තේ රු. මිලියන 7 කට ආසන්න මුදලක් බැවින් විශාල මුදලක් ඉතිරිකර ගැනීමට හැකිවී ඇති බවත් මෙහිදී අනාවරණය විය. දියුණු තාක්ෂණයෙන් යුතුව දේශීය වශයෙන් නිෂ්පාදිත මෙම උපකරණ තොගය ලබා දීම පිළිබද ගරු කථානායකවරයා සහ පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා ආරක්ෂක අංශ වෙත සිය ස්තුතිය පළ කළේය. මෙහිදී අදහස් දක්වමින් ආරක්ෂක ලේකම්වරයා පවසා සිටියේ ආරක්ෂක අංශ මෙන්ම වෙනත් ජාතික අවශ්‍යතා සදහා දියුණු තාක්ෂණික මට්ටමේ උපකරණ නිෂ්පාදනයටත් එමගින් ජාතික ධනය සුරැකීමටත් ආරක්ෂක අංශවලට හැකියාව ඇති බවයි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ ප්‍රථම වරට පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සදහා අනුයුක්ත සියලු ආරක්ෂක අංශවල සහභාගීත්වයෙන් 2020 වසරේ ජූලි මස පැවති ඒකාබද්ධ ආරක්ෂක අභ්‍යාසයේදී හදුනාගත් ආරක්ෂක අවශ්‍යතාවකට අනුව මෙම උපකරණ තොගය ලබා දීම සිදුවූ බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා මෙහි අරමුණ සහ පසුබිම පැහැදිළි කරමින් පැවසීය.
 

More News..