brand logo

පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම රතන හිමි සහ වසන්ත ආණ්ඩු පක්ෂය ඉල්ලයි වෙල්ගම විපක්ෂය ඉල්ලයි

25 December 2019

පාර්ලිමේන්තුවේදී නියෝජිතයන් කිහිපදෙනකු සිය ආසන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වේත්‍රධාරීවරයාගෙන් ඉල්ලීම් කර ඇති බවට තොරතුරු වාර්තා වෙයි. පසුගිය ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණට එරෙහි පිළිවෙතක් අනුගමනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු වන කුමාර වෙල්ගම සිය ආසනය විපක්‍ෂයේ පිළියෙල කරන ලෙස වේත්‍රධාරීවරයාගෙන් ඉල්ලීමක් කර ඇති අතර, පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්‍ෂට සහය පළ කළ වසන්ත සේනානායක වේත්‍රධාරීවරයාගෙන් ඉල්ලා ඇත්තේ සිය මන්ත්‍රී අසුන ආණ්ඩු පක්‍ෂයේ පිළියෙල කරන ලෙසයි. එමෙන්ම පූජ්‍ය අතුරළියේ රතන හිමියන්ද සිය මන්ත්‍රි අසුන ආණ්ඩු පක්‍ෂ කොටසේ ස්ථානගත කරන ලෙස වේත්‍රධාරීවරයාට දුරකතන ඇමතුමකින් දැනුම් දී ඇතැයිද පාර්ලිමේන්තු ආරංචි සඳහන් කළේය. කෙසේ වෙතත් තමන්ට යම් ස්ථානයක් වෙන් කර ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අයිතියක් ඇතත් එය සිදුකර ගත යුතු සම්මත ආකාරයක් තිබේ. එය පාර්ලිමේන්තුවේ වේත්‍රධාරීවරයා වෙත දුරකථන ඇමතුම් ලබාදීමෙන් සිදුකර ගත නොහැකිය. තම ආසනය පිළියෙල කළ යුත්තේ කෙසේදැයි යන්න කථානායකවරයා වෙත ලිඛිතව දැනුම්දීම අදාළ මන්ත්‍රීවරයාට පැවැරෙන වගකීමක් බව පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙකු කියා සිටියේය. කුමාර එන්. අස්මඩල
 

More News..