brand logo

පාර්ලිමේන්තුවම දුරස්ථභාවය රැකෙන පරිදි සැකසේ

22 July 2020

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ අනුමැතිය බලාපොරොත්තුවෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු කාමර, මන්ත්‍රී භෝජනාගාර සහ කාර්යාල කාමර සියල්ල පුද්ගල දුරස්ථභාවය රැකෙන පරිදි යළි සකස් කෙරෙමින් පවතී. කෙසේ වෙතත් සභා ගැබෙහි මන්ත්‍රී ආසන කැරකෙන පරිදි සකස් කර ඇති නිසා දැනටමත් අඩි දෙකක පරතරයක් එම ආසන අතර පවතී. එබැවින් මන්ත්‍රීවරුන් සියලු දෙනාට මුඛ ආවරණ සහිතව සභා ගැබෙහි අසුන් ගැනීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් අනුමැතිය ලබාදෙනු ඇතැයි විශ්වාස කරන බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු ‘අරුණ’ ට ප්‍රකාශ කළේය. සභා ගැබ, කාරක සභා කාමර, භෝජනාගාර සහ කාර්යාල නිිසි සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සකස් කර ඇත්ද යන්න පරීක්ෂා කර අනුමැතිය ලබාදීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පත්කළ විශේෂ කණ්ඩායමක් මෙම සතිය ඇතුළත පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිත බවද වේත්‍රධාරීවරයා ප්‍රකාශ කළේය. කාරක සභා කාමර කිහිපයක් සහ කාර්ය මණ්ඩල භෝජනාගාර මේ වනවිට සුදුසු පරිදි සකස් කර අවසන් බවද සෞඛ්‍ය නිලධාරීන් කණ්ඩායම පැමිණීමට පෙර මන්ත්‍රීවරුන්ගේ භෝජනාගාරයද සෞඛ්‍ය නිර්දේශ අනුව සකස් කරන බවද හෙතෙම පැවසුවේය. තවද පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මෙම 27 වැනිදා සිට රාජකාරියට වාර්තා කරන ලෙස දැනුම් දී ඇතැයිද වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පවසයි. අජිත් අලහකෝන්
 

More News..