brand logo

පාර්ලිමේන්තුවටත් කොවිඩ් තර්ජන

31 December 2020

කථානායකවරයාගේ පෙර ගමන් රථයේ පොලිස් රියැදුරුට සහ උප පොලිස් පරීක්ෂකවරයාට කොවිඩ් වැලඳී තිබීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ පිහිටි කථානායක කාර්යාලයද වසා දැමීමට තීරණය කර ඇත. මෙම ආසාදිත උප පොලිස් පරීක්ෂකවරයා පාර්ලිමේන්තු තැපැල් කාර්යාලයටද ගොස් මුද්දර මිලට ගෙන ඇති බැවින් එම තැපැල් කාර්යාලයද වසා දමා තිබේ. ඔහු ගමන් කළ පාර්ලිමේන්තු විදුලි සෝපානයේ විපක්ෂ නායක කාර්යාලයේ නිලධාරීන් කිහිපදෙනකුද ගමන් කර ඇති බව සීසීටීවී දර්ශන ඔස්සේ හඳුනාගෙන ඇත. මේ නිසා කථානායක කාර්යාලය, තැපැල් කාර්යාලය සහ විපක්ෂ නායක කාර්යාලයද ඇතුළුව පාර්ලිමේන්තුවේ අංශ කිහිපයක සේවය කරන පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ විසි පස් දෙනෙකුගේ පමණ පී.සී.ආර්. පරීක්ෂණ අද (31 වැනිදා) සිදු කරන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු ඊයේ (30 වැනිදා) ‘අරුණට’ පැවැසුවේය. මෙම පී.සී.ආර්. පරීක්ෂණවල ප්‍රතිඵල මත පාර්ලිමේන්තුවේ තවත් අංශ කිහිපයක් වසා දමනවාද නැද්ද යන්න තීරණය කෙරේ. කථානායක මහින්ද යාපා අබේවර්ධනද මේ වන විට දෙහිවල පිහිටි ඔහුගේ නිවසේ ස්වයං නිරෝධායනයට ලක්ව සිටින අතර කොවිඩ් ආසාදිතයන් වන ඉහත පොලිස් රියැදුරාගේ සහ උපපොලිස් පරීක්ෂකවරයාගේ සමීප ආශ්‍රිතයන් ලෙස හඳුනාගත් කථානායකවරයාගේ ආරක්ෂක අංශයේ පිරිසක්ද මේ වනවිට නිරෝධායනයට ලක් කර තිබේ. කථානායකවරයා ස්වයං නිරෝධායනයේ පසුවන බැවින් ඊයේ (30 වැනිදා) පැවැති පක්ෂ නායක රැස්වීමද පවත්වා ඇත්තේ කාරක සභා නියෝජ්‍ය සභාපති අංගජන් රාමනාදන්ගේ ප්‍රධානත්වයෙනි. අජිත් අලහකෝන්
 

More News..