brand logo

මහ මැතිවරණයක දී ජයග්‍රහණය කරන පක්ෂයට ප්‍රසාද මන්ත්‍රි ධූර 15ක් ලබා දිය යුතුයි

11 June 2019

සුළු පක්ෂ විසින් ආණ්ඩු නටවන එක ආරම්භ වුණේ මන්ත්‍රි ධූර ලබා ගන්න සළු වීමට පාරලිමේන්තු මැතිවරණයක දී ලබා ගත යුතු ඡන්ද ප්‍රතිශතය 12.5% සිට 5% දක්වා ප්‍රේමදාස ජනපතිතුමා විසින් අඩු කළ නිසා කියලා හැමෝම තොරතෝංචියක් නැතුව කියන බවත් සළු වන ප්‍රතිශතය 12.5% දක්වා වැඩි කලොත් මුස්ලිම් පක්ෂ ආණ්ඩු නටවන එක නතර වෙනවාද යන්න ඊයේ (10) දින පැවැති පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ සළුවීම් ප්‍රතිශතය 12.5% දක්වා වැඩි කලොත් මුස්ලිම් පක්ෂ වලට කෙසේ වෙතත් ජවිපෙ සහ ඊපිඩීපි වලට නම් මන්ත්‍රි ධූර නැති වෙනවා. ඊපිඩීපි වලට මන්ත්‍රි ධූර නැති කලොත් උතුර TNA ඒකාධිකාරයට යට වෙනවා. ජවිපෙ මතවාද සමග අපි එකග නෑ. නමුත් ඔවුන්ට සිය මතවාදවන් ප්‍රකාශකිරීමට ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් තිබිය යුතුයි. ජවිපෙ පාරලිමේන්තුවෙන් පිට මං කලොත් නැවත ආයුද අතට ගන්නත් ඉඩ තිබෙනවා. ප්‍රධාන පක්ෂ වලට සුළු පක්ෂ මත යැපෙන්න වෙලා තිබෙන්නේ පවතින මැතිවරණ ක්‍රමය නිසා. මේ ක්‍රමය යටතේ දෙවරක් හැර අනිත් සෑම අවස්ථාවකම දිනන පක්ෂයට පාරලිමේන්තුවේ සාමාන්‍ය බහුතරය වන 113 ලබා ගන්න බැරි වෙලා තිබෙනවා. ඉතිහාසය පුරා දිනන පක්ෂයට ලැබී තිබෙන්නේ මන්ත්‍රි ධූර 105ක් සහ 109ක් අතර ගණනක්. පසුගිය පාරලිමේන්තු මැතිවරණයේ දී ලැබුණේ එජාපයට මන්ත්‍රි ධූර 106යි. කවුරු දින්නත් දිනන පක්ෂයට ප්‍රසාද මන්ත්‍රි ධූර 15ක් ලබා දුන්නොත් සුළු පක්ෂ මත යැපෙන්නේ නැතුව ස්ථාවර ආණ්ඩුවක් හදන්න පුළුවන්. උදාහරණයක් විදිහට ආසන 105 අරගෙන මැතිවරණය යම් පක්ෂයක් ජයග්‍රහණය කලහොත් ප්‍රසාද මන්ත්‍රි ධුර 15ත් සමග මන්ත්‍රිධූර 120 ලැබෙනවා. එවිට මන්ත්‍රිවරුන් හත් අට දෙනෙකුට අපි ආණ්ඩුවෙන් යනවා කියලා ආණ්ඩුව නටවන්නට බෑ. ඒ නිසා සළුවීමේ ප්‍රතිශතය 12.5% දක්වා වැඩි කිරීම වෙනුවට ප්‍රධාන පක්ෂ දෙකම එකතු වෙලා දිනන පක්ෂයට ප්‍රසාද මන්ත්‍රි ධූර 15ක් ලබා දීමට ව්‍යවස්ථා සංශෝධණයක් හරහා කටයුතු කරන මෙන් ඉල්ලා සිටින බව ප්‍රකාශ කළේය.
 

More News..