brand logo

පාපැදියෙන් වැඩට ගියොත් වාසි ගොඩක්

26 January 2022

සෑම මාර්ගයකටම වෙනම මංතීරුවක් 

වායු දූෂණය අවම කරගැනීම සහ තවත් කරුණු ගණනාවක් හේතුවෙන් පාපැදි භාවිතය ප්‍රවර්ධනය කිරීමට පියවර ගන්නා බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඒ අනුව මේ වනවිටත් පාපැදි භාවිතය ප්‍රවර්ධනය සඳහා පියවර ගැනීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සකස් කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළා. ඒ අනුව පාපැදිවලට ගමන් කිරීම සඳහා සෑම මාර්ගයකම මංතීරුවක් වෙන් කිරීම, පරිසර අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනවල පාපැදිවලින් පැමිණෙන සේවකයින් සඳහා යම් ප්‍රවර්ධන ප්‍රතිලාභයන් ලබාදීමේ නියාමන වැඩසටහනක් හඳුන්වාදීමට ද තීරණය කර තිබෙනවා. වාහන තදබදය ඇති අවස්ථාවල ධාවනය වන එක් වාහනයකින් රජයට කිලෝමීටරයක් සඳහා රුපියල් 103.56ක් වැය කිරීමට සිදුවන බව සිදුකරන ලද සමීක්ෂණයකින් අනාවරණය වී ඇති බව පරිසර අමාත්‍යවරයා සඳහන් කළා. වායු දූෂණය අවම කරගැනීමට හැකිවීම, කාලය අපතේ යාම වළක්වාගැනීම මෙන්ම පාපැදිය භාවිතා කිරීම නිසා බෝ නොවන රෝග රැසක් පාලනය කරගැනීමට ඇති හැකියාව නිසා පාපැදි භාවිතය ප්‍රවර්ධනය සඳහා පරිසර හිතකාමී ප්‍රවේශයක් ලබාදීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා. ඒ අනුව පාපැදිය භාවිත කිරීම මගින් කිලෝමීටරයකට රුපියල් 236.48ක් ඉතිරි කරගත හැකි වන අතර රජයට සිදුවන ලාභය රුපියල් 339.98ක් බවත් අමාත්‍යවරයා සඳහන් කළා. එමනිසා මෙම වැඩපිළිවෙල අනෙකුත් රාජ්‍ය හා පුද්ගලික ආයතනවලට හඳුන්වාදීම සඳහා පියවර ගැනීමට රජයේ සහයෝගය ලබාගැනීමට නියමිත බව පරිසර අමාත්‍යාංශය පෙන්වා දෙනවා. ඉදිරි වර්ෂය තුළ වාහන ආනයනය කරන්නේ නම් විදුලිබලයෙන් ධාවනය වන වාහන සඳහා ප්‍රමුඛත්වය ලබාදීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි ද එම අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසුවා.
 

More News..