brand logo

පාපන්දුවට වෙට්ටු දාන අවුරුදු හතේ ලිට්ල් මෙසී

23 October 2020

කයිලියන් ම්බාප්පේ කුඩා කල සිටම පාපන්දු තරුවක් වීමේ සිහිනය දැක්කෙකි. කුඩා කල පටන් ම්බාප්පේගේ වීරයා වූයේ පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝය. රොනාල්ඩෝට කෙතරම් ඔහු ප්‍රියකළාදැයි කියනවානම් ඔහුගේ කාමරය දකින කෙනෙක්ට එය තේරුම් ගැනීමට එතරම් අමාරු වන්නේ නැත. ඔහුගේ කාමරය හරියට ඉස්සර කාලේ තිබුණු ලංකාවේ සැලෝන් එකක් වැනිය. කාමරයේ බිත්ති පුරා වූයේ රොනාල්ඩෝගේ ඡායාරූපය. එදා ඒ අයුරින් සිහින දැක්ක ම්බාප්පේ අද වනවිට ප්‍රංශයේ ප්‍රබලතම ඉදිරිපෙළ පාපන්දු ක්‍රීඩකයාය. රොනාල්ඩෝලා සමග උරෙනුර ගැටෙමින් ප්‍රංශයේ තරග දිනවන්නාය. රුසියාවේ පැවැති ඉකුත් පාපන්දු ලෝක ශූරතාවේදී ප්‍රංශය සවුදිය පිරුවේද ම්බාප්පේගේ උර මතින් යමිනි. එදා රොනාල්ඩෝගේ අඩි පාරේ ගිය ම්බාප්පේ වගේම, පාපන්දු පිටියේ රොනාල්ඩෝගේ ප්‍රබලතම ප්‍රතිවාදියා වශයෙන් සැලකෙන සුපිරි ක්‍රීඩක ආර්ජන්ටිනාවේ ලයනල් මෙසීගේ අඩි පාරේ යන ඉරාන ජාතික පුංචි පොඩිත්තෙක්ද වේ. ඔහු නමින් අරත් හොසේනිය. ඔහු 7 හැවිරිදිය. වයස කුඩා වූවද, ඔහුගේ වැඩනම් පොඩි නැත. වර්තමානයේ වැඩිහිටියෙක් වුවද, සික්ස් පැක් හදාගන්න කාලයක් කායවර්ධන මධ්‍යස්ථානවල ලතවෙන සමයක මේ කුඩා කොලුවාගේ ‘පැක් අටම’ දකින්න පුළුවනි. එනිසා ඔහුගේ ශරීරය සහ ඔහු කරන කියන වැඩ දිහා බලන කෙනෙක්ට ඔහුගේ වැඩ පොඩි නැති බව අමුතුවෙන් කිවයුතු නැත. මාස පහක්, හයක් වැනි කුඩා කාලයක පටන්ම අරත්ව යම් අරමුණක් කරා යොමු කිරීමට ඔහුගේ පියා වන මොහොමඩ් හොසේනි කටයුතු කළේය. අපේ රටේ දරුවෙක් යමක් අල්ලන් නැගිටින්න උත්සාහ දැරුවත් ‘හා හා බලාගෙන වැටෙයි’ කියන සමයක මොහොමඩ්, අරත්ව වෙනස්ම ජීවන රටවකට හුරු කළේය. ඉහත කී මාස පහක, හයක කාලයේ පටන් වයස අවුරුදු 7ක් දක්වා අද වනතෙක්ම අරත් දිනකට පැය 3ක් සිය ව්‍යායාම්වල නිරත වන්නේය. අරත් බහ තෝරන අවදියේ සිටම ඔහුට ඕනෑ වූයේ පාපන්දු ක්‍රීඩකයෙක් වීමටය. එසේ මෙසේ පාපන්දු ක්‍රීඩකයෙක් නොව ඔහුට ඕනෑ වූයේ ලයනල් මෙසී වගේ සුපිරි පැලැන්තියේ පාපන්දු ක්‍රීඩකයෙක් වීමටය. දින, සති, මාස ගෙවෙත්ම පාපන්දු දක්ෂතා සහ ඔහු විසින් පෑ ශාරීරික වෙනත් දක්ෂතා දැක්වෙන වීඩියෝ ලොව පුරා සැරිසැරුවේය. ඒවාට නැරඹුම් වාර මිලියන ගණන් ආවේය. ප්‍රතිචාර ගලා ආවේය. එම දක්ෂතා හේතුවෙන් 2017 වසර වන විට ඔහුට ‘ලිට්ල් මෙසී’ යන අන්වර්ත නාමය පට බැදුණේය. ඒ සමයේ සිව් හැවිරිදි වියේ පසු වූ අරත් අඩි 10ක් පමණ උසැති තාප්පයක් උඩට නගින වීඩියෝව ලැව් ගින්නක් මෙන් සාමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වී තිබුණි. තවද වැඩිහිටියෙකුටත් හිතා ගැනීමට නොහැකි ආකාරයේ පාද චලන සහිතව පාපන්දුව ඉදිරියට රැගෙන යන ආකාරය, පාපන්දුවෙන් සෙසු ක්‍රීඩකයන්ට වෙට්ටු දමා තමාගේ ඉලක්කය වෙත රැගෙන යාම ආදිය දැක්වෙන වීඩියෝද වැඩි වශයෙන් ප්‍රචාරය වන්නට වූයේය. එතැන් පටන් ජනප්‍රියත්වය අරත් පසුපස හඹා ආවේය. ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍යයෙහි ඔහුගේ අනුගාමිකයන් සංඛ්‍යාව දැන් මිලියන පහකට ආසන්නය. ඉරානයේ අරත් හොසේනි කියනවාටත් වඩා දැන් ඔහු ජනප්‍රිය ‘ලිට්ල් මෙසී’ කීවොත්ය. අරත්ගේ මෙම ජනප්‍රියත්වය ඔහුගේ අරමුණ කරා යාමට පහසුවක් වූයේය. එම හීනය අරත් ජීවත් වූ ඉරානය වැනි රටකට තරමක් බර වැඩි විය. අරත්ගේ දක්ෂතාවන්ට වටිනාකමක් එක් කරමින් රටවල් කිහිපයක් බලෙන්ම ඔහුට පුරවැසිභාවය ලබාදීමට අත වැනුවේය. සිය මව්රට අතහැර යාමට අරත්ගේ පියාගේ සිත් නොවූයේය. නමුත් අරත්ගේ හීනය ඉරානයේ සිට සැබෑ කර ගැනීම අපහසු බැව් ඔහුගේ පියාට වැටහිණි. එනිසා අරත්ගේ හීනය වෙනුවෙන්ම මොහොමඩ් හුසෙයිනි, සිය බිරිඳ හා අරත්ගේ වැඩිමහල් සොයුරිය සමගින් දැඩි තීරණයක් ගත්තේය. ඒ ඉරානය හැර යාමටය. ඇරයුම් ලැබුණු රටවල් බහුතරයක් අතරින් ඔවුන්ගේ තේරීම වූයේ එංගලන්තයය. එංගලන්තයේත් ඔහු පදිංචිය සඳහා තෝරාගනු ලැබුවේ ප්‍රබල පාපන්දු කණ්ඩායමක් ක්‍රියාත්මක වන ලිවර්පූල් පෙදෙසය. අරත්ගේ පියා වූ මොහොමඩ් හොසෙයිනි එදා ගත් තීරණය මේ වන විට සපල වී ඇති සැටියකි. ඒ වයස අවුරුදු 7ක් වීමටත් මත්තෙන් අරත් හුසේනිව ලිවර් පූල්හි තරුණ පාපන්දු ඇකැඩමිය සඳහා තෝරාගෙන තිබීමය. සිය පාපන්දු දිවියේ වෘත්තීමය පළමු පියවර එය බැව් අරත් සමාජ මාධ්‍ය ඔස්සේ පවසා තිබුණේය. ගයාශාන් විතානආරච්චි
 

More News..