brand logo

පාන් බනිස් විකුණූ එළියස්ගේ මුතු සාප්පුව

12 February 2019

ලොව දක්ෂතම මුතු ශිල්පියා ලෙස ඔස්ට්‍රේලියානුවන් හැඳින් වූ ටී.බී. එලියස් වර්ෂ 1937දී මියයද්දී ඔහුගේ බාල පුත්‍රයා සිය පියාගේ කැමැත්තට පටහැනිව විවාහ වී ඩාවින් හි පදිංචියට ගොස් සිටියේය. වැඩිමහල් පුත්‍රයා පියාගේ කැමැත්ත අනුව සිංහල තරුණියක විවාහ කරගෙන බෲම්හි රැඳී සිටියේය. පියාගේ අභාවයෙන් පසු වැඩිමහල් පුත්‍රයා වූ විලියම් බිලී එලියස් එතෙක් ටී.බී. එලියස් යනුවෙන් හැඳින්වුණු පියාගේ ව්‍යාපාර ස්ථානය W.B. Ellies යනුවෙන් සිය නමින් වෙනස් කර ව්‍යාපාර කටයුතු ආරම්භ කළේය. විලියම් හා චාල්ස් යන දෙදෙනාම සිය පියාගේ වෘත්තියේම යෙදුණේය. එමෙන්ම අති දක්ෂ මුතු ශිල්පීන් ලෙස පිළිගැනීමට ලක්විය. එහෙත් ඒ කාලය වෙද්දී ලෝක මුතු වෙළෙඳපොළ මුහුණ දී තිබූ තත්ත්වය සිය පියා මෙන් කීර්තිය හා ධනය ඉපයීමට ඔවුන් දෙදෙනාට ඉවහල් වූයේ නැත. මුතු සඳහා වූ ඉල්ලුම අඩුවීම, මුතු වෙනුවට බාල ආදේශක වෙළෙඳපොළට පැමිණීම, මුතු බෙල්ලන් මගින් කෘත්‍රිමව මුතු නිෂ්පාදනය ආරම්භ වීම වැනි කාරණා හේතුවෙන් එලියස් පරපුර නිරත වූ ස්වභාවික මුතු කර්මාන්තයට කණකොකා හඬා තිබුණි. එසේම ඒ වෙද්දී අධික ලෙස මුතු කිමිදීම නිසා ස්වභාවික මුතු බෙල්ලන්ද දුර්ලභ වී තිබුණි. ටී.බී. එලියස්ගේ අභාවයෙන් වසර කිහිපයක් ගෙවෙද්දී දෙවන ලෝක යුද්ධයේ උණුසුම ඔස්ට්‍රේලියාවට තදින්ම දැනේනට විය. ඊට හේතුව ජපානය ජර්මන් පාර්ශ්වය ගෙන යුද්ධයට අවතීර්ණ වීමය. ජපානය ක්‍රමයෙන් ආසියාව ඔස්සේ ජයග්‍රාහීව ඉන්දුසීනියානු කලාපය වෙත පැමිණෙද්දී එහි තිබූ ලන්දේසි (නෙදර්ලන්ත) යටත් රාජ්‍යවල සිටි නෙදර්ලන්ත ජාතිකයන් සරණාගතයන් ලෙස පැමිණියේ ඔස්ට්‍රේලියාවේ බෲම් වෙතය. මේ අතරේ 1942 පෙබරවාරි 19 වැනිදා ඔස්ට්‍රේලියාවට විදේශයකින් එල්ල වූ විශාලතම ආක්‍රමණයට මුහුණ දීමට සිදු විය. එදින ජපන් ගුවන් යානා සිය ගණනක් ඩාවින් නගරයට ප්‍රහාර එල්ල කළේය. අනතුරුව 1942 මාර්තු 03 දා බෲම් ප්‍රදේශයට පහර දුන්නේය. මෙම ජපන් ප්‍රහාර බෲම් හි මෙන්ම උතුරු ඔස්ට්‍රේලියාවේ මුතු කර්මාන්තය සම්පූර්ණයෙන්ම නතර කිරීමට සමත් විය. ජපන් ප්‍රහාරයෙන් ඩාවින් නගරයට සිදුවූ හානිය බරපතළ විය. එහි ජීවත් වූ චාර්ලි එලියස් සිය පවුලද සමග නැවත බෘෘම් බලා ගියේය. ඒ වන විට සිය පියාගේ නිවස හා ව්‍යාපාරික ස්ථානය පිහිටි දේපොළේ පදිංචිව සිටි විලියම් සිය බාල සහෝදරයා හා ඔහුගේ පවුලට ජීවත් වීම සඳහා ඉන් කොටසක් වෙන් කර දුන්නේය. මේ අතරේදී විලියම් එහි බේකරියක් ආරම්භ කළේය. දශක කිහිපයක් පුරා වටිනා මුතු, දියමන්ති, රත්තරන් හා රිදී ගනුදෙනු වූ ටී.බී. එලියස් ගේ මුතු සාප්පුවේ කවුළුවෙන් එතැන් පටන් පාන් හා බනිස් වෙළෙඳාම් කරන්නට පටන් ගත්තේය. විලියම් එලියස්ට පුතුන් සිව් දෙනකු හා දියණියක සිටියේය. ඔහු ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුවල පහසුව සඳහා පසුව පර්ත් නගරයේ ද නිවසක් මිලට ගෙන සිය භාර්යාව සමග දරුවන් නැවැත්වීය. ඒ අතරේ ඔහු බෲම් හා පර්ත් අතර කි.මී. 2300ක පමණ දුර එහා මෙහා ගමන් කරමින් ව්‍යාපාර කටයුතු හා සිය පවුලේ අය සමග සම්බන්ධතා පැවැත්වීය. විලියම්ගේ හා එලන්ගේ පුතුන් බිලි, ටොම්, ක්ලෙමන්ට් සහ චාර්ල්ස් නම් විය. දියණිය ඊඩිත් ඔලිව් නම් වූවාය. පුතුන් අතරින් ටොම් සහ ක්ලෙමන් පසුව දන්ත වෛද්‍යවරු බවට පත්වූහ. බිලි වෙනත් වෘත්තියක් තෝරා ගත්තේය. එහෙත් සිය සීයාගේ හා පියාගේ මග අනුගමනය කරමින් චාර්ල්ස්ද ස්වර්ණාභරණ වෘත්තිය තෝරා ගත්තේය. විලියම්ගේ සිංහල බිරිඳ එලන් ඔස්ට්‍රේලියාවේ සිටියද ශ්‍රී ලංකාවේ සිය ඥාතීන් සමග දිගටම සබඳතා පැවැත්වූවාය. ශ්‍රී ලංකාවේ ඥාතීහු ද ඔස්ට්‍රේලියාවට පැමිණ ඔවුන් හා ගත කළේය. ඒ අතර ඉකුත් සතියක සඳහන් කළ ‘ඇලරික්’ අයිස් ක්‍රීම් ව්‍යාපාරය ආරම්භ කළ ඇලරික් වික්‍රමරත්න හා ඔහුගේ බාල සොහොයුරා වූ සෑම් විමලරත්න ද වූහ. ඇලරික් හා සෑම් එලන්ගේ සහෝදරියකගේ පුතුන් වූහ. විලියම්ගේ හා එලන්ගේ පුතුන් සිව් දෙනාම පසු කාලීනව ඔස්ට්‍රේලියානු ළඳුන් විවාහ කරගත්තේය. ඔවුන්ගේ කීර්තිමත් සීයා වූ ටී.බී. එලියස් අපේක්ෂා කළේ සිය සිංහල උරුමය ඉදිරි පරම්පරාවන්ද රැගෙන යනු ඇතැයි කියාය. එහෙත් විලියම්ගේ පුතුන්ගෙන් සිය පියාගේ එම අරමුණ ඉටු වූයේ නැත. ටී.බී. එලියස්ගේ කැමැත්තට පිටුපාමින් ජපන් තරුණියක විවාහ කර ගත් චාර්ලිට පුතුන් දෙදෙනකු හා දියණියන් දෙදෙනකු ලැබුණේය. ඔවුන් පර්ලි, පැට්, ඇලන් හා චාර්ලිස් නම් විය. එම එලියස් පරපුර ගැන කිව යුත්තේ ඔවුන් පසු කාලීනව ඔස්ට්‍රේලියානු සමාජයට අවශෝෂණය වී ශ්‍රී ලාංකික සිංහල සම්භවය නැතිවී ගිය බවය. මේ අයුරින් කීර්තිමත් ටී.බී. එලියස්ගේ මුනුබුරු මිනිබිරියන් 9 දෙනා අතරින් 8 දෙනකුම ඔස්ට්‍රේලියානු සමාජයට අවශෝෂණය වී සැඟව ගියේය. එහෙත් මේ අතරේ තවත් දෙයක් සිදුවෙමින් තිබුණේය. විලියම්ගේ බිරිඳ එලන්ගේ සහෝදරියගේ පුතුන් දෙදෙනා ඔස්ට්‍රේලියාවට පැමිණි බව මම පෙර සඳහන් කළෙමි. ඒ ඇලරික් හා සෑම් ය. විලියම්ගේ හා එලන්ගේ දියණිය ඊඩිත් ඔලිව් හා සෑම් එකිනෙකා හොඳින් හඳුනාගෙන සිටියහ. එහි ප්‍රතිඵලය වූයේ ඒ වෙද්දී ඔස්ට්‍රේලියාවේ පර්ත් නගරයේ ජීවත් වූ ඊඩිත් ඔලිව් වර්ෂ 1946 දී ලංකාව බලා ගොස් සිංහල සම්ප්‍රදායානුකූලව සෑම් හා විවාහ වීමය. ඒ අනුව ටී.බී. එලියස්ගේ මුනුබුරු මිනිබිරියන් 8 දෙනකුගෙන් ගිලිහුණු ශ්‍රී ලාංකික අනන්‍යතාවය ඊඩිත් ඔලිව් මිනිබිරිය එම අන්‍ය්‍යතාව ඊළඟ පරම්පරාව හා යා කරන පුරුක බවට පත් වූවාය. සෑම්ගේ හා ඊඩිත් විවාහයෙන් පසු මුල් කාලය වැඩි වශයෙන් ශ්‍රී ලංකාවේ ගත කළේය. ඒ වෙද්දී සෑම් විමලරත්න ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කටයුතු ආරම්භ කර තිබුණේය. වර්ෂ 1949දී පර්ත් වෙත පැමිණි ඔහු ඒ.ජේ. බේකර්ස් නම් ඕස්ට්‍රේලියානු සමාගමෙන් අයිස්ක්‍රීම් නිෂ්පාදනය කිරීමේ මැෂිමක් මිලදී ගෙන ශ්‍රී ලංකාවට ගොස් ‘‘Plaidona’’ නමින් අයිස් ක්‍රීම් නිෂ්පාදනය (ඔහුගේ සොහොයුරා වූ ඇලරික් ඇලරික්ස් අයිස්ක්‍රීම් නිෂ්පාදනය ආරම්භ කළේ සෑම්ට පසුවය) කළේය. එසේම සෑම් මැණික් හා ස්වර්ණාභරණ ව්‍යාපාරයට ද අත ගැසුවේය. මේ ව්‍යාපාර කටයුතුවලදී ඔහුගේ බිරිඳ කීර්තිමත් ටී.බී. එලියස්ගේ මිනිබිරිය ඔහුට අත්වැලක් වූවාය. නුවන් ගන්කන්ද
 

More News..