පාතාලය හා කුඩු ගැන ඉල්ලූ වාර්තා ප්‍රමාදයි
01 July 2020
පාතාලය හා කුඩු ගැන ඉල්ලූ වාර්තා ප්‍රමාදයි
01 July 2020
පොලිස් බල ප්‍රදේශ තුළ පාතාල, ක්‍රියාකාරකම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත පුද්ගලයන් පිළිබඳව වාර්තාවක් පොලිස්පතිවරයාට ලබාදෙන ලෙස කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරුන්ට දැනුම්දී මාස දෙකහමාරක් ගතවුවත් මෙතෙක් එම වාර්තාව නොලැබීම ගැන තමා කනගාටු වන බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පෙරේදා (29වැනිදා) පැවසුවේය.
මේ පිළිබඳ වහා සොයා බලන ලෙස ද ආරක්ෂක ලේකම්වරයා මෙහි දී වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්නට උපදෙස් දුන්නේය.
පසුගිය අප්‍රේල් 05 වැනිදා ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කළ ලිපියක් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට මාස දෙකහමාරක කාලයක් ගන්නේ නම් වරදකරුවන් නීතිය ඉදිරියට ගෙනයන්නේ කෙසේදැයි මෙහි දී විමසූ ආරක්ෂක ලේකම්වරයා, ආරක්ෂක අමාත්‍යාංශයෙන් හෝ පොලිස්පතිවරයාගෙන් යම් උපදෙසක් ලැබූ විට එය යම් සංස්ථාවක් හෝ රජයේ වෙනත් ආයතනයකින් ලද උපදෙසක් ලෙස නොසලකන ලෙසද උපදෙස් දුන්නේය.
ඇඳිරිනීතිය ඉතා තදින් ක්‍රියාත්මකවූ දිනවල දහවලේ මෙන්ම රාත්‍රී කාලයේද ඇතැම් පොලිස් ස්ථානවල ආරක්ෂාව යටතේ මත්කුඩු ජාවාරම් පවත්වාගෙන ගොස් ඇතැයිද කී ආරක්ෂක ලේකම්වරයා කුඩා දරුවන් පවා යතුරු පැදි සහ ත්‍රිරෝද රථ යොදා ගනිමින් මත්කුඩු බෙදාහැරීම කර ඇතැයිද කීය.
උතුරේ එක්තරා පොලිස් ස්ථානාධිපතිවරයෙක් තවත් උසස් නිලධාරියෙකු සමග එක්ව අපරාධකරුවන්ගෙන් විශාල වශයෙන් මුදල් ලබාගෙන නීති විරෝධී ගනුදෙනු නිදහසේ කරගෙන යාම සඳහා ඉඩදී ඇති බවට පැමිණිලි ලැබී ඇතැයිද ආරක්ෂක ලේකම්වරයා මෙහි දී තවදුරටත් පැවැසීය.