brand logo

මාලඹේ සුද්දා ගිනිඅවියක් සමග අත්අඩංගුවට

06 August 2019

පාතාලයේ ඉලක්කයක් ගැනීම සදහා බත්තරමුල්ල, රොබට් ගුණවර්ධන මාවතේ නිවසක රැදී සිටි මාලඹේ සුද්දා නමැති පාතාලයකුට පිස්තෝලයක්ද සමග පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි අංශය මගින් පෙරේදා (05) අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් මහේෂ් වසන්ත නොහොත් මාලඹේ සුද්දා සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 16ක් විදෙස් රටක නිෂ්පාදිත පිස්තෝලයක් උණ්ඩ දහයක් සොයාගෙන ඇත. මාලඹේ සුද්දා නමැත්තා දැනට රැදවුම් නියෝග මත රදවා සිටින පාතාලයේ ගොත අසංකගේ ගෝලයකු වන අතර ගොත අසංක විසින් බත්තරමුල්ල බන්ටිව මරන්නට උත්සාහ දරමින් සිටින නිසා බන්ටිගේ නිවසට යාබද නිවසේ රැදී සිටින්නට ඇත්තේ බන්ටි මරන්නට බව විමර්ශන කණ්ඩායම් සැකකරයි. රනාලේ සමයංව කලුතර, එතනමඩලදී බන්ධනාගාර බස් රථයට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් ටී56 ගිනිඅවියක් සමග අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කර තිබිණි. බත්තරමුල්ලේ බන්ටි ඇප මත නිදහස්ව පැමිණ ඇත්තේ මීට මාස දෙකකට පෙරය. මාලඹේ සුද්දා බන්ටිගේ නිවස අසල සැරිසරන්නට ඇත්තේ එම ඉලක්කය ගැනීමට බව සැකපහලවී ඇත. මොහු අතුරුගිරිය ඇතුළු ප්‍රදේශ ගණනක කොල්ලකෑම් වලට සම්බන්ද වූවෙක් බව හෙළිවී තිබේ. විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාසයේ උපපොලිස් පරීක්ෂක ඒ.එන්.ටී. කුමාර් ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම වැටලීම කර සැකකරුව වැඩිදුර විමර්ශන සදහා කොළඹ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය වෙත භාරදී ඇත. තිස්ස රවින්ද්‍ර පෙරේරා
 

More News..