brand logo

පාඨලී විදෙස් ගත වීමට අවසර ඉල්ලයි

24 February 2020

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ ඇති වූ රිය අනතුරකින් තරුණයකුට බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධියේ සැකකරුවකු ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට විදේශ ගත විම සදහා දැනට පනවා තිබෙන තහනම ඉවත් කරන ලෙස කර තිබෙන ඉල්ලීමට අදාළව ලබන මස 4 වනදා කරුණු ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නේරංජනා ද සිල්වා මහත්මිය අද(24) නියෝග කළාය. මෙම නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේදී ඇප මත මුදාහරිනු ලැබ සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ ඔහුගේ රියැදුරු දිලුම් තුසිත කුමාර යන අය අධිකරණය හමුවේ පෙනී සිටියහ. එහිදී පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරමින් රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පිරිස් මහතා කරුණු ඉදිරිපත් කළේය. " ස්වාමීනි මෙම විමර්ශනයට අදාළව සැකකාර අමාත්‍යවරයාගේ රියදුරකු වශයෙන් සේවය කළ බව කියන නිශාන්ත ප්‍රදීප් අල්විස්, සිද්ධිය වූ වකවානුවේ වැලිකඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ වර්තමාන සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල, ඇමතිවරයාගේ ආරක්ෂකයින් වශයෙන් කටයුතු කළ ඇමති ආරක්ෂක අංශයට අනුයුක්ත පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. ඊට අමතරව මෙම නඩුවේ දෙවන සැකකරු වන දීලුම් තුසිත කුමාර නමැත්තාගෙන් පොලිසිය දෙවන වතාවටත් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා. ඊට අමතරව සිද්ධිය වූ දින රාත්‍රී 9.08 සිට පසුදින අළුයම 3.25 දක්වා කාලසීමාව තුළ පළමුවන සැකකාර අමාත්‍ය චම්පික රණවක සහ ඔහුගේ රියදුරු දිලුම් තුසිත කුමාර යන අයගේ ජංගම දුරකථන වලින් නිකුත් වූ සහ ලැබුණු දුරකතන ඇමතුම් පිළිබඳව දුරකථන විශ්ලේෂණ වාර්තා ලබාගෙන විමර්ශන සිදුකළා. එම විමර්ශනවලට අනුව අමාත්‍යවරයාගේ ආරක්ෂකයින් වශයෙන් කටයුතු කළ ඇමති ආරක්ෂක අංශයට අනුයුක්ත පොලිස් නිලධාරීන් දෙදෙනා පොලිසියට ලබාදී ඇති ප්‍රකාශ අසත්‍ය බවට කරුණු අනාවරණය වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට අපි අපේක්ෂා කරනවා. ඊට අමතරව සිද්ධිය වූ අවස්ථාවේ මෙම අපරාධයට අදාළ විමර්ශන සිදු කිරීමේදී වැලිකඩ පොලිසිය ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ සුදත් අස්මඩල මහතා පක්ෂග්‍රාහි ආකාරයෙන් කටයුතු කර තිබෙනවා ද? යන්න පිළිබඳව විමර්ශකයන්ගේ අවධානය යොමු වී තිබෙනවා. එහිදී ඔහු විත්ති පාර්ශවයට කිසියම් සහනයක් ගෙන දෙන ආකාරයෙන් නඩු කටයුතු අවසන් කිරීමට ක්‍රියාකර තිබේ ද? යන්න පිළිබඳවත් අපි සොයා බලනවා. එහිදී එම නිලධාරියා කිසියම් පක්ෂග්‍රාහී ආකාරයට ක්‍රියාකර ඇති බවට කරුණු තහවුරු වුවහොත් ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අපි ක්‍රියා කරනවා. එමෙන්ම මෙම නඩුවට අදාළව 2016 වසරේ මහේස්ත්‍රාත්වරයා විසින් දුන් නියෝග පිළිබඳවත් අපි කරුණු අධ්‍යයනය කරනවා " යනුවෙන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වීය. මෙහිදී අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණයේ කරුණු දක්වමින් තම සේවාදායකයාට පෞද්ගලික අවශ්‍යතාවයක් සඳහා ලබන මස සති දෙකක කාලයක් ඕස්ට්‍රේලියාවේ සංචාරය කිරීමට අවශ්‍යව තිබෙන බව දැනුම් දුන්නේය. ඒ සඳහා සැකකරු සම්බන්ධයෙන් දැනට අධිකරණය මගින් පණවා තිබෙන විදේශ ගමන් තහනම අදාළ කාල සීමාව සඳහා ලිහිල් කරන ලෙසද ජනාධිපති නීතිඥවරයා අධිකරනයෙන් ඉල්ලා සිටියේය. රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා - ස්වාමීනි, මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කර කරුණු දැක්වීම සඳහා අදාල ලේඛන හා වෙත ලබාදිය යුතුයි. විත්තියේ ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා - ස්වාමීනි, මෙම නඩුවේ සැකකරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. ඔහු අධිකරණය මගහැර යයි කියලා හිතන්න පුළුවන්ද? රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා- ඒවා කියන්න බැහැ ස්වාමීනි, ඇතැම් පුද්ගලයින් විදේශවලට ගිහිල්ලා නෑවිත් ඉන්න අවස්ථා තියෙනවා. මෙම නඩුවේ අමාත්‍යවරයාගේ රියදුරු බව කියන දෙවන සැකකරුගෙන් පොලිසිය ප්‍රකාශයක් සටහන් කර ගත්තා. එහිදී එම සැකකරු පිළිගෙන තිබෙනවා දෙසැම්බර් මස 18 වනදා සිට අධිකරණයට ඉදිරිපත් වන අවස්ථාව දක්වා තමා සැඟවී සිටියේ සැකකාර අමාත්යවරයාගේ බත්තරමුල්ලේ පිහිටි නිවසේ බවට. මෙවැනි වාතාවරණයක් මත මෙම ඉල්ලීම සම්බන්ධයෙන් කරුණු දක්වන්න අදාල ලේඛන මට අවශ්‍යයි. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකාර හිටපු අමාත්‍යවරයාට විදේශගත වීම සඳහා අවශ්‍ය නියෝග නිකුත් කරන ලෙස කරන ඉල්ලීම පිළිබඳ ලේඛන පැමිණිලි පාර්ශ්වය වෙත ලබාදෙන ලෙසත් එම ඉල්ලීම පිළිබඳව කරුණු දැක්වීම ලබන මස 4 වනදා සිදු කරන ලෙසත් මහේස්ත්‍රාත්වරිය විසින් විත්තියේ නීතිඥවරුන්ට නියෝග කරන ලදී. අනතුරුව නඩුවේ වැඩිදුර විමර්ශන වල ප්‍රගතිය විමසීම සඳහා එය මැයි මස 13 වනදා කැඳවන ලෙසද මහෙස්ත්‍රාත්වරිය විසින් නියෝග කරන ලදී.   (අධිකරණ වාර්තාකරු )
 

More News..