brand logo

පාඨලී චම්පික රිමාන්ඩ් කළ රිය අනතුරේ සුලමුල

21 December 2019

මේ නඩුවට ඔබ සම්බන්ධ වන්නේ කෙසේද? සංදීප් තරුණයා අනතුරට පත් කළ වාහනය කව්ද එලෙව්වේ කියන කාරණය පිළිබඳ සමාජයේ ලොකු කතාබහක් ඇතිවෙනවා. එහිදී ඇසින් දුටු සාක්ෂිකරුවකු ප්‍රකාශ කරනවා මෙම වාහනය පදවාගෙන ආවේ එවකට සිටි ඇමැතිවරයකු වූ පාඨලී චම්පික රණවක කියලා. ඒත් පොලිසියට ඉදිරිපත් කරලා තිබුණේ වෙනත් පුද්ගලයෙක්. රථවාහන අධිකරණයෙන් නඩුවත් අවසන් කළා. එබැවින් අසරණ වූ තරුණයාගේ දෙමාපියන් අප හමුවුණා. මම ඇහුවා ඇත්තටම මොකද වුණේ කියලා. එතැනදී ඒ අය කියනවා රිය අනතුර වුණ වෙලාවේදී අදාළ වාහනය පැදවූවේ පාඨලී රණවක අමාත්‍යවරයා බව. සාමාන්‍ය රිය අනතුරක් වුණාම ඒ අනතුර සිදු කළ පුද්ගලයා විසින් පීඩිත පාර්ශ්වයට සානුකම්පිත ගෙවීමක් කරනවා. ඒත් ඒ සියලුම තත්ත්වයන් මගහැරුනු තත්ත්වයක් තමයි මේ සිදුවීමේ තිබුණේ. අඩුම තරමේ අනතුරට ලක් වූ පුද්ගලයා බැලීමටවත් අමාත්‍යවරයා ගිහින් නෑ. ඒ වගේම සංදීප් දැඩි සත්කාරේ ඉද්දී රියැදුරුට ඇප ලැබෙනවා. ඒ සියලු දේට හේතුව අනතුරට මූලික වූ පුද්ගලයා සමාජයේ බලගතු පුද්ගලයකු වීම. එවැනි අයට නීතිය ක්‍රියාත්මක වන ප්‍රවණතාව හරි අඩුයි. විශේෂයෙන් පොලිසිය වගේ ආයතන නීතිය ක්‍රියාත්මක කරවන්න සිය පාරක් හිතනවා. ඒ නිසා සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ ඉන්න නීතිඥවරයකු හැටියට මම මේ සිද්ධියට සම්බන්ධ වුණා. ඊට පස්සේ අපි පොලිස් මූලස්ථානයට ගිහිල්ලා ‘‘රිය අනතුර කළා කියලා ඒ වන විට තහවුරු කරලා තිබුණ පුද්ගලයා නෙවෙයි, රිය අනතුර කළේ පාඨලී චම්පික ඇමැතිවරයා අතින් එම අනතුර සිදුවූවේ යන කරුණ මත පැමිණිල්ලක් දැම්මා. ඒ අනුවයි ඊට පසු නීතිමය කටයුතු සිදු වූයේ. පළමු කටඋත්තරයේ පාඨලී චම්පිකගේ නම සඳහන් නොවන නිසා, මෙය දේශපාලන අවශ්‍යතාවට සිදුවූවක් කියනවා. එහි සත්‍යයක් තිබෙනවාද? මේක දේශපාලන පළිගැනීමක් වෙන්නේ ආණ්ඩු මාරු වුණාට පස්සේ සිදු වුණා නම් විතරයි. මේ දිවුරුම් ප්‍රකාශ අපි අරගෙන ගියේ 2016 වසරේ රිය අනතුර වෙලා දවස් තුනක් යන්නටත් මත්තෙන්. අපිට ඒ සඳහා ඇසින් දුටු සාක්ෂි ඉදිරිපත්වෙලා තිබුණා. මේ නඩුවේ පාඨලී චම්පිකට විරුද්ධව ඇති චෝදනා මොනවාද? අධිකරණය නොමග යැවීම, සාක්ෂි වසන් කිරීම, අධිකරණයට වෙනත් පුද්ගලයෙක් ඉදිරිපත් කිරීම ආදී විශ්වසනීයත්වයට අදාළ චෝදනා ඔහුට තිබෙන්නේ. බරපතළ රිය අනතුරක් ඔහු සරල රිය අනතුරක් බවට පත්කර තිබුණා. මෙය සරල රිය අනතුරක් වෙන්න තිබුණා, ඒ දරුවාව රෝහලට අරන් ගිහිල්ලා, රිය අනතුර කිරීම සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත්වෙලා යම් සානුකම්පිත දීමනාවක් ගෙවලා කටයුතු කළා නම්. නමුත් දැන් තියන තත්ත්වය ඊට වඩා වෙනස්. දැන් ගොඩක් අය කියනවා චම්පික අත්අඩංගුවට ගත්ත වෙලාව වැරදි, මේක දේශපාලන පලිගැනීමක් කියලා. බලය තියෙන ඔහු ගැන එහෙම කියනකොට අනතුරට පත්වෙලා විඳවන තරුණයෙක් වෙච්ච සංදීප්ගේ තත්ත්වය කුමක්ද? කවුද ඔහුට සාධාරණය කරන්නේ. එයාගේ මව්පියන්ට මොකක්ද දෙන සහනය. සාමාන්‍ය පුද්ගලයෙක් අතින් මේ රිය අනතුර වුණා නම් කොහොමද විසඳෙන්නේ. අපි පූර්ව නිගමනවලට යන්න අවශ්‍ය නෑ. සාක්ෂි විමසා බලා කරන අධිකරණ ක්‍රියාවලියට ඉඩදීලා බලා සිටීමයි කළ යුත්තේ. අදාළ ප්‍රශ්නය කාලානුරූපව විසඳෙයි. තීන්දුව දුන් නඩුකටයුත්තක් ආයෙමත් දිගහැරෙන්නේ, ඒකට හේතුව කුමක්ද? නඩු අවසන් කරන්නේ සාක්ෂි මත, සාක්ෂි සැඟවීම, මකා දැමීම, සොයා ගැනීම දුෂ්කර වීම, යනාදී තත්ත්වයන් මත අවසන් තීන්දුව යම් පාර්ශ්වයකට අසාධාරණ වන අවශ්‍යතා තිබෙනවා. එවැනි නඩු කටයුත්තක් අහලා අවසන් කළ ද කාලයක් පසු වී හරි නිවැරදි සාක්ෂි සොයාගෙන එහි සත්‍ය තත්ත්වය අනාවරණය කරගත හැකි නම් නැවත ඒ නඩුව විමර්ශනයට ගැනීමේ හැකියාව තිබෙනවා. මෙහි තත්ත්වයත් ඒකයි. මේ රිය අනතුර සම්බන්ධ විමර්ශන කටයුතු බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට භාර දුන්නේ පොලිස් විමර්ශන සාර්ථකව කර නොමැති නිසාද? යුරෝපයේ නම් සාක්ෂි විමර්ශන කිරීම පිළිබඳ සාර්ථක ක්‍රමවේදයක් තිබෙනවා. ඒත් අපේ රටේ එහෙම තත්ත්වයක් නෑ. ඒකට අපේ රටේ විනිසුරුවරුන්ට කරන්න දෙයකුත් නෑ. පොලිසිය දෙන තොරතුරු මත තමයි විනිශ්චයකාරතුමා තීන්දු, තීරණ දෙන්නේ. ප්‍රමාණවත් සාක්ෂි නැතිවයි මේ රිය අනතුර වීමටත් තීන්දු තීරණ දීලා තිබෙන්නේ. අපිට පාඨලී චම්පිකට මඩගහන්න ඕන නෑ. අර දරුවට සාධාරණය ඉටුකිරීම පමණයි අපේ අරමුණ. මේ කාරණය දේශපාලන පලිගැනීමක් කියන අයගෙන් මම අහන්නේ සංදීප්ගේ තත්ත්වයට ඔයාලගෙ දරුවා පත් වුණොත් ඒ මව්පියන්ගේ තත්ත්වයට ඔයාලා පත් වුණොත් මොකද කරන්නේ. දේශපාලකයන්ට අහිංසක දරුවන් බල්ලෝ, බළල්ලු ගානට හප්පලා ගිහින් නිදහසේ ඉන්න පුළුවන් නම් මේ රටේ තත්ත්වය කුමක්ද? මහජනතාවට ආරක්ෂාවක් තිබෙනවාද? හිටපු අමාත්‍ය පාඨලී චම්පික කියලා තිබෙනවා අනතුරට ලක් වූ තරුණයා පිටුපසින් ඇවිත් හැප්පුනා කියලා. ඒ පිළිබඳ ඇති නෛතිකමය තත්ත්වය කුමක්ද? පිටුපසින් ගමන් ගන්නා වාහනයක් ඉදිරිපස ඇති වාහනයක හැප්පුණොත් පිටුපසින් ආ වාහනය පැදවූ කෙනා වැරදිකරු වෙනවා. ඒ තත්ත්වය ඇමැතිතුමා දන්නවා නම් ඒ වෙලාවේ කළ යුත්තේ කුමක්ද? තුවාලකරු රෝහල්ගත කරලා ඒ සම්බන්ධ පැමිණිලි කරලා නීතියට අනුව කටයුතු කරන්න තිබුණා. එය නොකළ එක තමයි මෙතැන තිබෙන ගැටලුව. ඔහුට තිබෙන චෝදනාව රියැදුරු මාරු කරලා උසාවියට බොරු සාක්ෂි දීම. අනතුර සම්බන්ධ සාක්ෂි මැකීම. අනතුරට පත් වූ තරුණයා අධික වේගයන් ගමන් කළ හැකි මෝටර් බයිසිකලයක් පැදවූවා කියනවා. ලංකාවේ ඒ සම්බන්ධ තිබෙන නීතිය කුමක්ද, සංදීප්ට ඉන් බලපෑමක් තිබෙනවද? මා දන්නා තරමින් ලංකාවේ 1000 ට වැඩි යතුරුපැදි ලියාපදිංචි කිරීමේ තහනමක් තිබෙනවා. ඒ නීති කලින් කලට වෙනස් වෙනවා. ධාවන තරගවලදී යම් යම් අවස්ථා දීලා තිබුණත් සාමාන්‍ය ගමන්වලදී අධිවේගී මෝටර් බයික් තහනම්. ඒත් මේ නඩුවට ඒ සම්බන්ධ හේතූන් නෑ. නඩුව ගොනුකරලා තිබෙන්නේ අධිකරණයට බොරු සාක්ෂි ලබා දී අධිකරණය නොමග යැවීම සම්බන්ධව. නීතිය ඉදිරියේ රිය අනතුර වසන් කිරීමට ගත් ක්‍රියාමාර්ග නිසා එය රිය අනතුරෙන් ඔබ්බට ගිය කාරණයක් වෙලා තිබෙනවා. මෙවැනි ක්‍රියාවක් සාමාන්‍ය පුද්ගලයෙක් කළත් ලැබෙන දඬුවමයි රණවක මන්ත්‍රීතුමාට ලැබිලා තියෙන්නේ. සමහර පුද්ගලයෝ මෙවැනි වැරදි නිසා මීට වඩා වැඩි දින ගණනුත් රක්ෂිත බන්ධනාගාරගත කරලා තිබෙනවා. අපේ බලාපොරොත්තුව සන්දීප්ට සාධාරණය ඉටුකර දීම පමණයි. කුමාරි හේරත්
 

More News..