brand logo

පාඨලී චම්පික රණවක යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

19 December 2019

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකොට රියදුරු මාරුකර එම රිය අනතුර පිළිබඳව තොරතුරු වසන් කර පලායාමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගන්නා ලද හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා තවදුරටත් ලබන 24 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා ද සිල්වා මහත්මිය විසින් අද (19) නියෝග කරන ලදී. මෙම නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේදී රිමාන්ඩ් භාරයට පත්කර සිටි සැකකාර පාඨලී චම්පික රණවක හිටපු අමාත්‍යවරයා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. මෙහිදී කොළඹ අපරාධ කොට්ඨාශය වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළ පරීක්ෂණ කටයුතු අවසන් කර නොමැති හෙයින් සැකකරු ඇප මත මුදාහැරීම සම්බන්ධයෙන් විරුද්ධ වන බව සඳහන් කර සිටියේය. " ස්වාමීනි 2016 වසරේ සිදුවූ මෙම රිය අනතුර පිළිබඳව එවක පොලිසිය විසින් විධිමත්ව පරීක්ෂණයක් සිදුකරන නෑ. මෙම රිය අනතුර සිදුකල වාහනය පැදවූ පුද්ගලයා පාඨලී චම්පික රණවක මහතා බවට පැහැදිලි සාක්ෂි අනාවරණය වී තිබෙනවා. එසේ තිබියදී මෙම රිය අනතුරට පාටලී චම්පික රණවක මහතා සම්බන්ධ නොමැති බවටත් ඊට වෙනත් පුද්ගලයෙකු විසින් සිදුකර ඇති බවට සටහන් යොදන ලෙස එවක වැලිකඩ පොලිසිය ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ වර්තමානයේ සහකාර පොලිස් අධිකාරී වරයෙකු විසින් එම පොලීසියේ පොලිසියේ පහල නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. ඒ පිළිබඳව අපි තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා. එමෙන්ම අදාළ රිය අනතුර පිළිබඳව ඇසින් දුටු සාක්ෂි ද ඉදිරිපත් වී තිබෙනවා. මෙම රිය අනතුර පිළිබඳව පොලිසිය කුමන්ත්‍රණකාරී ආකාරයෙන් කටයුතු කරමින් එහි නිවැරදි සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් නොකර සිටීමට කටයුතු කර ඇති බවයි පෙනී යන්නේ. එමෙන්ම එම වකවානුවේ කොළඹ ප්‍රදේශය භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ද තොරතුරු වසන් කර ඇති බවට තොරතුරු හෙළි වී තිබෙනවා. එම නිසා මෙම වැරැදි ක්‍රියාවලට සම්බන්ධ වු සියලුම පොලිස් නිලධාරීන් හඳුනාගෙන ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඉදිරියේදී අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට අප පියවර ගන්නවා. ස්වාමීනි මේක සාමාන්‍ය රිය අනතුරක් ලෙස හඳුන්වා දීමටයි බොහෝ පිරිස් වෙර දරන්නේ. ඒක සම්පූර්ණයෙන්ම වැරදියි. මෙම සැකකරු රිය අනතුරක් සිදුකර සංවිධානාත්මක ආකාරයෙන් පලායාමට කුමන්ත්‍රණය කර තිබෙනවා. මෙම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු වන දිලුම් තුසිත කුමාර නමැත්තා කිසියම් වෘත්තිකයින් පිරිසක් විසින් සඟවාගෙන සිටින බවට තොරතුරු ලැබී තිබෙනවා. එම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා දැන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. . මේ හේතුවෙන් මෙම අවස්ථාවේ සැකකරු ඇප මත මුදා හැරීම සම්බන්ධයෙන් අපි තරයේ විරුද්ධ වෙනවා" යනුවෙන් ප්‍රකාශ කර සිටි රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා සැකකාර පාඨලී චම්පික රණවක මහතා තවදුරටත් රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය. විත්තිකාර පාඨලී චම්පික රණවක මහතා වෙනුවෙන් ගුණරත්න වන්නිනායක, අජිත් පතිරණ යන නීතිඥවරු සමඟ අධිකරණය හමුවේ කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා කියාසිටියේ මෙම සැකකරු ඇප මත මුදා හරින ලෙසයි. "ස්වාමීනි 2016 වසරේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙනුයි පොලිසිය මේ පරීක්ෂණය ආරම්භ කර තිබෙන්නේ. එම රිය අනතුර සිදු වූ අවස්ථාවේදී ම එහි රියදුරුව වරද පිළිගෙන නඩු කටයුත්ත අවසන් කර තිබෙනවා. එහෙත් පොලිසිය අවසන් කළ නඩු කටයුත්තක් සම්බන්ධයෙන් නැවතත් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ඒ අනුව මාගේ සේවාදායකයා පෙරේදා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. මේ අවස්ථාවේදී විමර්ශන කටයුතු බොහොදුරට අවසන් වී ඇති නිසා ඔහු ඇප මත මුදා හරින ලෙස මා කාරුණිකව ඉල්ලා සිටිනවා. ඇප නොදී සිටීමට තරම් සුවිශේෂී කරුණු කිසිවක් මෙම අවස්ථාවේ උද්ගතවී නෑ" යනුවෙන් ප්‍රකාශ කර සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා විත්තිකාර පාඨලී චම්පික රණවක හිටපු අමාත්‍යවරයා ඇපමත මුදා හරින ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එහෙත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා ද සිල්වා මහත්මිය කළ විමසීමකදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ එම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බවයි. විමර්ශන ප්‍රාථමික අවධියේ පවතින හෙයින් එම අවස්ථාවේ ඇප ඉල්ලීම් සම්බන්ධයෙන් නියෝගයක් නොකරන බව සඳහන් කර සිටි අතිරේක මහේස්ත්‍රාත්වරිය සැකකාර පාඨලී චම්පික රණවක මහතා ලබන 24 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළාය. එදින මෙම පරීක්ෂණ වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරිය විසින් කොළඹ අපරාධ කොට්ඨාශයට නියෝග කරන ලදී. 2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ දී සන්දීප් සම්පත් නැමති තරුණයකු අනතුරට ලක් කොට බරපතළ තුවාල සිදු කිරීම, එම අනතුරෙන් පසුව වාහනයේ රියදුරු මාරුකිරීම, රිය අනතුරක් සිදුකර පලායාම, පොලිසියට තොරතුරු වසන් කිරීම යන සිද්ධීන් සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් මත හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පෙරේදා ඔහුගේ නිවසේ දී කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ගෙන තිබුණි. ඒ අනුව නීතිපතිවරයාගේ උපදෙස් මත මෙම විමර්ශනය කොළඹ අපරාධ කොට්ඨාශය විසින් යළි ආරම්භ කර තිබේ. මේ අතර හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ එය වාර්තා කිරීමට පැමිණ සිටි ලේක්හවුස් ආයතනයේ ඡායාරූප මාධ්‍යවේදී ගයාන් පුෂ්පික මහතාට පහර දුන්නේ යැයි සැකපිට අත්අඩංගුවට ගන්නා ලද කැලණිය හිටපු එක්සත් ජාතික සංවිධායකවරයෙකු වන බෙවන් පෙරේරා මහතාගේ පුත් මංජුල පෙරේරා මහතා අද දහවල් කෙසෙල්වත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. පසුව මෙම සැකකරු රුපියල් 150000/-ක ශරීර ඇප මත මුදා හැරීමට නියම කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය.
 

More News..