brand logo

පාඨලීට ඇප

24 December 2019

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකර රියදුරු මාරුකර පොලිසියට කරුණු වසන් කරමින් පලා ගියේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නේරංජනා ද සිල්වා මහත්මිය විසින් අද (24) නියෝග කරන ලදී. ඒ අනුව සැකකාර චම්පික රණවක හිටපු අමාත්‍යවරයා රුපියල් 25000/-ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 5 ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය සෑම මසකම අවසන් ඉරුදින පෙරවරු 9ත් 12ත් අතර කොළඹ අපරාධ කොට්ඨාශයට වාර්තා කළ යුතු බවටද ඇප කොන්දේසියක් පනවනු ලැබුවාය. සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසද තවත් ඇප කොන්දේසියක් චම්පික රණවක හිටපු අමාත්‍යවරයා වෙත නිකුත් කරන ලදී. ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ප්‍රකාශයට පත් කළ මහේස්ත්‍රාත්වරිය සැකකාර චම්පික රණවක මහතාට ඇප නියම කිරීම සඳහා පාදක වන හේතු විවෘත අධිකරණයේ විස්තර කර සිටියා ය. " මෙම නඩුව සම්බන්ධයෙන් පසුගිය 13 වනදා ලංකා දණ්ඩනීති සංග්‍රහය, මෝටර් රථ ප්‍රවාහන පනත යටතේ ගැනෙන වැරදි සම්බන්ධයෙන් පොලිසිය විසින් කරුණු වාර්තා කර මෙම නඩුවේ සැකකරුවන් විදේශගත වීම වළක්වාලමින් තහනම් නියෝගයක් ද ලබා ගත්තා. පසුව මෙම විදේශ ගමන් තහනමට භාජනය වූ පාඨලී චම්පික රණවක නැමැත්තා මෝසමක් මාර්ගයෙන් ඉකුත් 16 වනදා අධිකරණයට ඉදිරිපත් වුණා. එම අවස්ථාවේ පොලිසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ චම්පික රණවක නමැති අය මෙතෙක් සැකකරුවකු ලෙස නම් කර නොමැති බව. පසුව නීතිපතිවරයාගේ උපදෙස් මත මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඉකුත් 19 වනදා අධිකරණය හමුවට ඉදිරිපත් කළා. එහිදී පොලිසිය සඳහන් කර සිටියේ නීතිපතිවරයාගේ උපදෙස් මත මෙම සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය පත් කරන බව. එහිදී පොලීසිය විසින් ලංකා දණ්ඩ නීති සංග්‍රය යටතේ තිබෙන වැරදි, මෝටර් රථ ප්‍රවාහන පනත යටතේ වූ වැරදි සහ පොදු දේපළ පනත යටතේ වැරදි පිළිබඳව මෙම සැකකරුට එරෙහිව කරුණු වාර්තාවක් ඉදිරිපත් කළා. එහෙත් මෙම සැකකරුට එරෙහිව පොදු දේපළ පනත යටතේ කරුණු ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා විසින් පොලිසිය වෙත ලබාදුන් උපදෙස් වල සඳහන් වන්නේ නැහැ. ඒ අනුව පොලිසිය විසින් නීතිපතිවරයාගේ උපදෙස් නොමැතිව පොදු දේපළ පනත යටතේ වූ වැරදි මෙම නඩු කටයුත්ත ඇතුළත් කර තිබෙන බව පෙනී යනවා.. එමෙන්ම සැකකරු විසින් රජයේ දේපළක් වන WP KP 7545 දරණ ජීප් රථයට රුපියල් 917244.40 ක අනර්ථයක් සිදු කර ඇති බව පොලිසිය විසින් සඳහන් කර තිබුනද ඒ බව සනාථ කිරීම සඳහා පොදු දේපළ පනත යටතේ සහකාර පොලිස් අධිකාරීවරයෙකුට නොඅඩු නිලයක් දරන නිලධාරීයෙකු විසින් ඉදිරිපත් කළ යුතු සහතිකයක් අධිකරණය හමුවේ ඉදිරිපත් කර තිබුණේ නැහැ" යනුවෙන් සිය ඇප නියෝගය තුළින් කරුණු විග්‍රහ කළ මහේස්ත්‍රාත්වරිය මෙම තත්වය හමුවේ ඇප ප්‍රතික්ෂේප කිරීමට තරම් සුවිශේෂී කරුණු කිසිවක් හමු නොවන බව ද විවෘත අධිකරණය හමුවේ සඳහන් කළාය. මෙම සැකකරුගේ විදේශ ගමන් මේ වන විටත් අධිකරණය මගින් තහනම් කර තිබෙන බව පෙන්වාදුන් මහේස්ත්‍රාත්වරිය ඔහු අත්අඩංගුවට ගැනීමට ප්‍රථම අධිකරණය හමුවට පැමිණ ඕනෑම අවස්ථාවක අධිකරණය හමුවේ පෙනී සිටිය හැකි බවට ඔහු ප්රතිඥාවක් ලබා දුන් බව ද මහේස්ත්‍රාත්වරිය සඳහන් කර සිටියාය. ඒ අනුව ඔහු අධිකරණය මගහැර යන පුද්ගලයකු යැයි සිතිය නොහැකි බවත් මෙය 2016 වසරේ වාර්තා වූ සිද්ධියක් හෙයින් ඇප ලබා දුනහොත් මහජන කැළඹීමක් ඇති වීමට හැකියාවක් නොමැති බවට පෙනී යන්නේ යැයි සිය තීන්දුව තුලින් සඳහන් කර සිටී කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය ඒ අනුව ඇප පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව මෙම සැකකරුට ඇප ලබා නොදීමට තරම් සුවිශේෂී කරුණු කිසිවක් අනාවරණය නොවන බවද අධිකරණය හමුවේ පෙන්වා දුන්නාය. ඒ අනුව සැකකාර පාඨලී චම්පික රණවක හිටපු ඇමතිවරයා ඇප මත මුදාහරින ලෙස ද මහේස්ත්‍රාත්වරයා විසින් නියම කරන ලදී. මේ අතර මෙම රිය අනතුර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු වූ දිලුම් තුසිත කුමාර නමැත්තා නීතිඥවරු මාර්ගයෙන් ඊයේ අධිකරණය හමුවට ඉදිරිපත් විය. එම අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ මෙම සැකකරු කිසියම් පිරිසක් විසින් මෙතෙක් කල් සඟවාගෙන සිටි බවත් මෙම සැකකරු රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව අදාළ සැකකරු ලබන මස 6 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය ලබන 26 වන දා බන්ධනාගාරය තුළදී ඔහුගේ ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන්ට පහසුකම් සලසා දෙන ලෙස ද බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළාය. මෙහිදී රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම රිය අනතුරු සිද්ධියේදී අලාභහානි වූයේ විදුලිබල අමාත්‍යංශයට අයත් වාහනයක් බවත් තමන්ට අයත් නොවන වෙනත් අමාත්‍යාංශයක වහනයක් මෙම සැකකරු විසින් පදවා තිබෙන බවත් අධිකරණය හමුවේ සඳහන් කළේය. ඊට ප්‍රතිචාර දැක්වූ සැකකාර චම්පික රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා අදාළ කාලසීමාවේ විදුලි බල අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නිකුත් කළ චක්‍රලේඛය අනුව වාහන භාවිතාව සිදුවී තිබෙන බවත් එම චක්‍ර ලේඛය පිළිබඳව අධ්‍යයනය කරන ලෙස තමා රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ගෙන් ඉල්ලා සිටින බවත් කියා සිටියේය. තවදුරටත් අධිකරණය හමුවේ කරුණු දැක්වූ රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණ භූමිය සහ අධිකරණයට ප්‍රවේශය වන දොරටුව නිදහස්ව පැවතිය යුතු බව පෙන්වා දුන්නේය. " ස්වාමීනි අධිකරණ භූමිය සහ අධිකරණයට ප්‍රවේශ වන දොරටුව බාධාවලින් තොරව නිදහසේ පැවතිය යුතුයි. අධිකරණයේ දොරටුව ඉදිරිපස සිදුවන යම් යම් කටයුතු නිසා ඊට පිවිසෙන නීති වෘත්තිකයන්ට සහ මහජනතාවට අවහිරතාවක් සිදුවෙනවා. අද උදෑසන අධිකරනයෙන් ප්‍රධාන දොරටුව ඉදිරිපිට විශාල පොලිස් නිලධාරීන් කණ්ඩායමක් යොදවා තිබෙනවා මා දුටුවා. එවැනි දේ කිරීමට අවශ්‍ය නෑ. "යනුවෙන් සඳහන් කර සිටි රජයේ නියෝජ සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා මෙම කරුණු සම්බන්ධයෙන්ව අවධානය යොමු කරන ලෙස මහේස්ත්‍රාත්වරිය ගෙන් ඉල්ලා සිටියේය. විත්තියේ නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා - ස්වාමීනි, අද පෙරවරුවේ අධිකරණය ඉදිරිපිට විශාල පොලිස් කණ්ඩායමක් යොදවා තිබුණා. අධිකරණ දොරටුව වසා තිබුණා. භික්ෂූන් වහන්සේලා අධිකරණයට පිවිසීම වැළැක්වීම සඳහා විශාල කාන්තා පොලිස් නිලධාරිනියන් කණ්ඩායමක්ද යොදවා තිබුණා. අධිකරණය ඉදිරිපිට මාර්ගය ද වසා තැබීම නිසා සේවාදායකයින්ට අධිකරණයට පිවිසීමට නොහැකි වුණා. මාගේ සේවාදායකයින්ටත් එන්න බැරි වුණා. ඒ නිසා අධිකරණවලින් ඔවුන්ට වරෙන්තු නිකුත් වෙලත් ඇති."යනුවෙන් සඳහන් කර සිටි විත්තියේ නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා මෙම කරුණු සම්බන්ධයෙන් සොයා බලන ලෙසද මහේස්ත්‍රාත්වරයා ඉල්ලා සිටියේය. මෙම අවස්ථාවේ නැගී සිටි රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුවට පැමිණෙන භික්ෂූන් වහන්සේලාට අධිකරණ ශාලාවට ඇතුළුවීමට ඉඩ දෙන ලෙස තමන් පොලීසියට උපදෙස් ලබාදුන් බවයි. කෙසේ වෙතත් මෙම කරුණු සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරියගේ අවධානයට යොමු කරන බවදර්‍ අතිරේක මහේස්ත්‍රාත්වරිය සඳහන් කළාය. අනතුරුව නඩුව නැවත ලබන ජනවාරි මස 6 වනදා කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය එදිනට පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන්ට නියෝග කළාය. (අධිකරණ වාර්තාකරු)
 

More News..