brand logo

පාකිස්ථානය පැරද වූ ඉන්දියාවට ලකුණු 89ක ජයක්

17 June 2019

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්ථානය සමග පැවැති තරගය ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 89කින් ජය ගැනීමට ඉන්දියාව සමත් විය. මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 5ක් දැවී ලකුණු 336ක් රැස්කර ගත්තේය. ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් රෝහිත් ෂර්මා ලකුණු 140ක් ලබාගත්තේ පන්දු 113කදීය. ඊට හයේ පහර 3ක් සහ හතරේ පහර 14ක් ඇතුළත් වේ. ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් නායක විරාට් කෝලි ලකුණු 77ක් සහ කේ එල් රාහුල් ලකුණු 57ක් ද රැස්කර ගැනීමට සමත් විය. පන්දු යැවීමේදී මොහොමඩ් අමීර් කඩුළු 3ක් දවාගත්තේය. තරගය අතරවාරයේ වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් තරගය පන්දුවාර 40කට සීමා විය. ඒ අනුව පාකිස්ථානයට පන්දුවාර 40ක් තුළ ලකුණු 302ක අභියෝගයක් හිමිවිය. අනතුරුව පිටියට පැමිණි පාකිස්ථාන කණ්ඩායමට පන්දුවාර 40ක් තුළ කඩුළු 6ක් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 212ක් පමණීයි. පාකිස්ථානය වෙනුවෙන් ෆකර් සමාන් ලකුණු 62ක් සහ බාබ්රා අසාම් ලකුණු 48ක් රැස්කර ගත්තේය. ඒ අනුව ඉන්දීය කණ්ඩායමට ලකුණු 89ක ජයක් හිමිවිය.
 

More News..