brand logo

පාකිස්තාන ජයග්‍රහණය ඔස්ට්‍රේලියාව දක්වා ව්‍යාප්ත කිරීමට

20 October 2019

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු තරග සංචාරය වෙනුවෙන් සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 21 වැනිදා දිවයිනෙන් පිටත්ව යන්නේ බලපොරොත්තු රැසක් පොදිබැඳගෙනය. විස්සයි විස්ස තරග තුනකින් සමන්විත තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මෙලෙස ඔස්ට්‍රේලියානු සංචාරයක නිරත වන අතර, තරගාවලියේ පළමු තරගය ඔක්තෝබර් 27 වැනිදා ඇඩිලේඩ්හිදී ආරම්භ වීමට නියමිතය. නොවැම්බර් 01 වැනිදා අවසන් තරගය මෙල්බන්හිදී පැවැත්වෙනු ඇත. අන්තර්ජාතික විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්හි අංක එකේ පසුවන පාකිස්තාන කණ්ඩායම 3-0ක් ලෙස පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ඔස්ට්‍රේලියාවට යන්නේ ජයග්‍රාහී මානසිකත්වයකින් යුක්තවය. මේ සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනදා අප දකින ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා බෙහෙවින් වෙනස්ය. එනමුත් පාකිස්තානු සංචාරයෙන් අනතුරුව මෙරට ක්‍රීඩාලෝලීන් ඇතුළු බහුතරයකගේ අපේක්ෂාව වී තිබුණේද මීට සමාන කණ්ඩායමකි. පාකිස්තානු සංචාරයට සහභාගි වූ ක්‍රීඩකයන් 16 දෙනාටම එක් තරගයක් හෝ ක්‍රීඩා කිරීමේ අවස්ථාව එහිදී හිමිවූ අතර, ඉන් 12 දෙනෙකුට ඔස්ට්‍රේලියානු සංචාරයෙදී සිය ස්ථාන තහවුරු කරගැනීමට හැකිවීම මෙහිදී කැපි පෙනෙයි. පාකිස්තානයේ ආරක්ෂාව පිළිබඳව පුද්ගලිකව සෑහීමකට පත්විය නොහැකි බව සඳහන් කරමින් එම තරගාවලියට සහභාගි වීම ප්‍රතික්ෂේප කළ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් දහ දෙනාගෙන් සිව්දෙනෙකුට පමණක් ඔස්ට්‍රේලියානු වරම් හිමිව ඇත්තේ තමන්ගේ ජ්‍යෙෂ්ඨත්වය නමට පමණක් සීමාවූවක් දැයි යළි යළිත් සිතා බලන්නට ඔවුනට ඉඩහසර විවර කරමිනි. විස්සයි විස්ස කණ්ඩායමේ නායක ලසිත් මාලිංග, එහි හිටපු උප නායක නිරෝෂන් දික්වැල්ල, ආරම්භක පිතිකරු කුසල් ජනිත් හා සිය පාදයේ ආබාධය සුව වීමෙන් පසුව යළි පිටියට අවතීර්ණ වන කුසල් මෙන්ඩිස්ට පමණක් එහි ඉතිරි ස්ථාන හතර වෙන්ව ඇත. මෙහිදී සැලකිය යුතු අනෙක් කරුණ වන්නේ මෙතෙක් විස්සයි විස්ස උපනායකත්වය හිමිව තිබූ නිරෝෂන් දික්වැල්ලට මෙවර එය අහිමී වීමය. ඒ සඳහා මෙතෙක් කිසිවෙකුත් නම්කර නොමැති අතර, ජයග්‍රාහී කණ්ඩායමේ නායකත්වය හෙබවූ දසුන් ශානකට එය හිමිවීමේ වැඩි අවස්ථාවක් පවතී. වසර ගණනාවක් තිස්සේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් යැයි හඳුන්වා ගන්නා ක්‍රීඩකයන්ගේ සෙවනැල්ලෙන් වැසීගිය මෙම යෞවනයන්, ලද අවස්ථාවෙන් සිය හැකියාවන් ලොව අංක එකේ කණ්ඩායමට එරෙහිව පෙන්වා ජයග්‍රහණ ඉඩෝරයකට හසුව සිටි ශ්‍රී ලංකාව ඉන් මුදවාගත්තේ මෙරට සැබෑම ජාතික කණ්ඩායම කුමක්දැයි තේරීම් කමිටුවට වඩා විචක්ෂණශීලීව සිතන්නට ඉඩකඩ විවර කරමිනි. වසර ගණනාවක් අන්තර්ජාතික විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්හි අංක එකේ රැඳී සිටි, 2014 විස්සයි විස්ස ලෝක ශූරයන් වූ ශ්‍රී ලංකාවට මෙවර දෛවයේ සරදම් විඳින්නට සිදුව ඇත්තේ, මීළඟ වසරේ ඔස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ වටයට පවා ක්‍රීඩා කිරීමට සිදුවීමෙනි. ඔස්ට්‍රේලියාව මේ වනවිට අන්තර්ජාතික විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්හි පස්වැනි ස්ථානයේ රැඳී සිටින අතර, ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ හත්වැනි ස්ථානයයි. එක්දින ලෝක කුසලාන පහක හිමිකරු වන ඔස්ට්‍රේලියාවට මෙතෙක් විස්සයි විස්ස ලෝක කුසලානයක පහස ලැබීමට අවස්ථාව උදාවී නැත. මෙවර සත්කාරකත්වයේ වාසිය ද සමගින් ඒ සඳහා සටන් වදින කැන්ගරුවන් සිය ප්‍රබලතම කණ්ඩායම ඒ වෙනුවෙන් සූදානම් කරනු නොඅනුමානය. ඊට පෙර පැවැත්වෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ සහ පාකිස්තාන කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු සංචාරවලදී විස්සයි විස්ස තරග 6ක් පැවැත්වීමට නියමිත අතර, ඒ වෙනුවෙන් 14 දෙනෙකුගෙන් යුත් සංචිතයක් ප්‍රකාශයට පත්කර අවසන්ය. එරට හිටපු නායක ස්ටීවන් ස්මිත් වසර 3කට පසු යළි විස්සයි විස්ස සංචිතයට කැඳවා ඇත්තේ වසරක තරග තහනමකින් අනතුරුවය. ඒ මෙවර පැවති අළු බඳුන තරගාවලියේ වීරයා ලෙසය. ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර්ට මෙන්ම මිචෙල් ස්ටාක්ටද එම සංචිතයේ යළි ඉඩකඩ හිමිව ඇත්තේ මුල් පෙළ පිතිකරුවෙක් වූ උස්මාන් කවාජාට සිය ස්ථානය අහිමිවන අතරවාරයේය. ශ්‍රී ලංකා කණ්ඩායම දෙස බැලූ කල වත්මන් තත්ත්වය පෙරට වඩා සුබදායක බව පෙනෙයි. පසුගිය වසර කිහිපයේදී ඇතැමුන්ගේ ඕනෑ එපාකම් මත තෝරාගත් කිහිපදෙනෙකු පමණක් කණ්ඩායමට ක්‍රීඩා කරවූවද, තව දුරටත් එම සෙල්ලම සිදුකළ නොහැකි බව දෑස් පනාපිට පෙනෙන්නට තිබේ. මෙවර ඔස්ට්‍රේලියානු තරගාවලියට සහභාගි වන සංචිතයේ වැඩිම තර්ජනයට ලක්ව ඇති ක්‍රීඩකයා වන්නේ නිරෝෂන් දික්වැල්ලය. දැනටමත් සිය උපනායකත්වය අහිමිකරගෙන ඇති දික්වැල්ලගේ ක්‍රිකට් අනාගතය මෙම තරග තුන මත රඳා පවතිනු ඇත. ඊට හේතුව කඩුලු රකින ආරම්භක පිතිකරුවන් දෙදෙනෙකුම ඔහුට අමතරව මෙම සංචිතය තුළ සිටීමය. ඒ කුසල්ලා යුගලයයි. ඊට අමතරව පාකිස්තානු සංචාරයේදී යළි සිය සුපුරුදු රිද්මයට පැමිණි ධනුෂ්ක ගුණතිලකද ආරම්භක පිතිකරුගේ භූමිකාවට නොවැරදීම පණ පොවනු ඇත. මේ අතරතුර සිය කුළුඳුල් එක්දින හා විස්සයි විස්ස තරගවලට ක්‍රීඩා කරමින් පාකිස්තානයේදී කඩුළු රැකීමෙන් හා පිත්තෙන් දස්කම් දැක්වූ මිනොද් භානුකට මෙවර අවස්ථාව හිමි නොවීම පිළිබඳව ද කතිකාවක් ගොඩනැගී ඇත්තේ දික්වැල්ල වෙත එල්ල වී ඇති පීඩනය දෙගුණ තෙගුණ කරවමිනි. මේ අතර අංක තුන පිතිකරු ලෙස කුසල් මෙන්ඩිස් හා අවිෂ්ක ප්‍රනාන්දු අතර තරගයක් ඇතිවිය හැකි අතර, අංක හතර බොහෝ විට භානුක රාජපක්ෂට හෝ ඕෂධ ප්‍රනාන්දුට හිමිවීමේ අවස්ථාව වැඩිය. ශෙහාන් ජයසූරිය ද විශේෂඥ පිතිකරුවෙක් ලෙස සංචිතය තුළ සිටී. දසුන් ශානක තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙස ඉදිරියෙන්ම සිටින අතර, වනිඳු හසරංගට පන්දුවෙන් මෙන්ම පිත්තෙන් ද දැනෙන යමක් කළ හැකි බව පසුගිය තරගාවලියේදී පෙන්නුම් කළේය. ඉසුරු උදාන ද තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙස කණ්ඩායමට එක්වන අතර, සෙසු ක්‍රීඩකයන් එක්ව ඇත්තේ පන්දු යවන්නන් ලෙසය. පන්දු යවන්නන් අතර පෙරමුණේ පසුවන්නේ විස්සයි විස්ස විශේෂඥයෙක් ලෙස සැලකෙන කණ්ඩායම් නායක ලසිත් මාලිංගය. ඔහුගේ හොඳම සහායක පන්දු යවන්නා වන්නේ ඉසුරු උදානය. ඊට අමතරව නුවන් ප්‍රදීප්, කසුන් රාජිත හා ලහිරු කුමාර ද වේගපන්දු යවන්නන් ලෙස එක්ව ඇත. වනිඳු හසරංග, ලක්ෂාන් සඳකැන් හා ශෙහාන් ජයසූරිය දඟපන්දු යවන්නන් ලෙස එක්ව ඇති අතර, අවශ්‍ය විටෙක ධනුෂ්ක ගුණතිලකටද පන්දු යැවීමට හැකිවීම අමතර වාසියකි. මේ වනවිට දෙරට අතර විස්සයි විස්ස තරග 13ක් පවත්වා ඇති අතර ඉන් තරග 8ක් ජයගෙන 5ක් පරාජයට පත්ව ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට 2017 වසරේදී උපුල් තරංගගේ නායකත්වය යටතේ ඔස්ට්‍රේලියාවේදී විස්සයි විස්ස තරග තුනකට සහභාගී වී එය 2-1ක් ලෙස ජයගැනීමට සමත්විය. පාකිස්තානයේ ආසියානු තණතීරුවලදී තරග ජයගැනීමට වඩා ඔස්ට්‍රේලියාවේ තණකොළ සහිත තණතීරුවල තරග ජයගැනීම විශාල අභියෝගයකි. එහෙත් සිය ජ්‍යෙෂ්ඨයන් රහිතව පන්දුවාර 20 ලෝක ශ්‍රේණිගත කිරීමේ වත්මන් අංක එකේ කණ්ඩායම ඔවුන්ගේ රටේදීම පරාජයට පත්කළ ශ්‍රී ලංකාවට මුහුණදීමේදී ඔස්ට්‍රේලියානුවන් මෙවර නම් වඩා හොඳින් සංවිධානය වනු ඇත. පාකිස්තානු ජයෙන් අනතුරුව වත්මන් තේරීම් කමිටු සභාපතිවරයාම පැවසූ පරිදි තරග ජයග්‍රහණය පුරුද්දක් කරගන්නේ නම් අපිට මෙම තරගාවලියද ජයගැනීම අපහසු නොවනු ඇත. එහෙත් එය කැන්ගරුවන් හා සටන් කොට ලබාගතයුත්තක් විනා ඔවුන් විසින් බන්දේසියක තබා පුදනු ලබන්නක් යැයි කිසිසේත් සිතිය නොහැකිය. නමුත් පාකිස්තානයේදී ලැබූ ප්‍රතිඵලය රඳවා ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවුව හොත්, මීළඟ පන්දුවාර 20 ලෝක කුසලාන වන විට අපට දක්ෂ ලොව අංක එක කණ්ඩායම් සමග කරට කර තරග කළ හැකි ශ්‍රී ලංකා කණ්ඩායමක් ගැන පවා බලාපොරොත්තු තැබිය හැකිය. සචිත් යාපා
 

More News..