brand logo

පාකිස්තානයේදී වීරයන් වූ කෝඩුකාර යුගලය

22 October 2019

විස්සයි විස්ස ශ්‍රේණියේ ලොව අංක එකේ පාකිස්තානයට පහර දී ශ්‍රී ලංකා ආධුනික කණ්ඩායම පාකිස්තානයේදීම ලැබූ ජය අතිවිශිෂ්ටය. ඒත් සමගින් ලංකාවේ ප්‍රේක්ෂකයා ආයෙත් ක්‍රිකට් ගැන කතා කරන්න පටන් අරන්. ඒ නිසා පාකිස්තානයේදී පිත්තෙන් වැඩ පෙන්වූ ක්‍රීඩකයින් දෙදෙනෙක් වෙනුවෙන් අපි ඉඩ වෙන් කරන්න හිතුවා. මේ පාකිස්තාන සංචාරයේදී විස්සයි විස්ස ජාත්‍යන්තර වරම් දිනාගත් ඕෂධ ප්‍රනාන්දු සහ භානුක රාජපක්ෂ සමගින් කළ කතාබහයි... මේ දවස්වල ලංකාවේ වැඩියෙන්ම කතා කරන මාතෘකාවක් ක්‍රිකට්. ඒ අතරින් ඕෂධ ගැනත් වැඩි වැඩියෙන් කතා කරනවා? හිතුවේ නැහැ මේ වගේ ප්‍රතිචාරයක් ලැබෙයි කියලා. ඒ ගැන සතුටු වෙනවා. තුන්වැනි එකේදි ඒ අවස්ථාව ලැබෙයි කියලා හිතුණාද? මුල් තරග දෙකම අපි දිනුවා. අපිට තරග 3-0ක ජයක් ලබා ගන්න තිබුණ අවස්ථාවක් තිබුණු නිසා දෙවැනි තරගය දිනපු කණ්ඩායම වෙනස් කරයි කියලා හිතුවේ නැහැ. ඒ අවස්ථාව ලැබිලා ග්‍රවුන්ඩ් එකට එද්දි මොකද හිතුණේ? කොහොම හරි ලැබුණු චාන්ස් එකෙන් හොඳට කරනවා කියලා හිතාගෙන හිටියේ. තුන්වැනි විස්සයි විස්ස තරගයේ ලකුණු 58කට කඩුළු 4ක් ගිහින් තියෙද්දි යම් පීඩනයක් දැනෙන්න ඇති? දසුන් එක්ක විකට් එකේ ඉද්දි ඔහු කිව්වා මම අනිත් පැත්තෙන් ඉන්නවා. ඕවර් 20ම බැට් කරමු කියලා. මම මගේ නෝමල් ගේම් එක එකපැත්තකින් ගැහුවා. පාකිස්තාන වේග පන්දු යවන්නෝ අභියෝගයක් වුණේ නැද්ද? මීට කලින් මම දකුණු අප්‍රිකාවේ වේග පන්දු යවන්නන්ට මුහුණ දීලා තිබුණා. ඒ නිසා මෙතැනදි දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ට මුහුණ දෙනවා තරම් අභියෝගයක් වුණේ නැහැ. පාකිස්තානේ යන්න කලින් යම් චකිතයක් තියෙන්න ඇති? මේ සංචාරයට යන්න කැමැති අය කවුද කියලා ක්‍රිකට් ආයතනයෙන් කල් තියා ඇහුවා. ඊට පස්සේ තමයි කණ්ඩායම් තේරීම සිදු වුණේ. ඒ නිසා පාකිස්තාන සංචාරය ගැන ලොකු චකිතයක් තිබුණේ නැහැ. වෙනත් සංචාරවලදී වගේ මේ සංචාරයේදී සාප්පු සවාරියක්වත් යන්න ලැබුණාද? නැහැ. මේ සංචාරයේදි අපිට හෝටලයටම වෙලා ඉන්න වුණා. පාකිස්තානයෙන් ලැබුණ ආරක්ෂාව ගැන කිව්වොත්? ඒක කියන්න බැරි තරමේ අත්දැකීමක්. අපි හැමවෙලේම ගියේ වෙඩි නොවදින වාහනවල. ඔවුන් දීපු ආරක්ෂාවේ හැටියට මම හිතන්නේ නැහැ අපිට කිට්ටු කරන්නවත් කාටවත් අවස්ථාවක් තිබුණා කියලා. කණ්ඩායමට ඇතුළත්ව සිටි ගොඩක් ක්‍රීඩකයන් සමකාලීන අය? අපි හැමෝම ලංකාවේ පැවැත්වෙන විවිධ තරගාවලිවලදි එකිනෙකා හම්බෙලා හොඳින් දන්න අය. හැමෝටම කරන්න පුළුවන් දේ ගැන හොඳ අවබෝධයක් තිබුණා. පාකිස්තානයට ඒමට කැමැති වීම ගැන පාකිස්තාන ක්‍රීඩකයෝ මොකද කිව්වේ? සමහරක් පාකිස්තාන ක්‍රීඩකයන් පාකිස්තානයේදී ජාත්‍යන්තර තරගවලට සහභාගි වෙලා තිබුණේ නැහැ. ඒ නිසා අපි එහෙ ගිය එකට ඔවුන්ට සතුටුයි. ඔවුන් අපිට ස්තුති කරා පාකිස්තානයට ආපු එක ගැන. ආයෙත් පාකිස්තාන සංචාරයක් ආවොත් යනවාද? හොඳ ආරක්ෂාවක් දෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. ඕෂධ වැඩියෙන්ම කැමැති ටෙස්ට්, විස්සයි විස්සද එහෙමත් නැත්නම් එක්දින තරග ක්‍රීඩා කරන්නද? ඒ අකාර තුනම ප්‍රශ්නයක් නැහැ. ඒත් පොඩි කාලේ ඉඳන්ම ආසාව තිබුණේ ටෙස්ට් කැප් එක ගන්න. ක්‍රීඩා කරන්න කැමැතිම ස්ථානයක් තියෙනවාද? එහෙම නැහැ. මගේ සේවය අවශ්‍ය මොන ස්ථානයේද, ඒ තැන මට ක්‍රීඩා කරන්න පුළුවන්. ඕෂධට පන්දු යවන්නත් පුළුවන්? ප්‍රධාන වශයෙන් පිතිකරුවෙක් විදිහට ක්‍රීඩා කරන්නේ. ඒ වුණත් පාදඟ පන්දු යවන්නත් හැකියාව තියෙනවා. ක්‍රිකට් පටන් ගත්තේ අවුරුදු කීයේදීද? අවුරුදු 13 ඉඳන් ක්‍රිකට් ගහනවා. අවුරුදු 15න් පහළ වෙනකම් සුමංගල විද්‍යාලයේ සෙල්ලම් කරා ඊට පස්සේ ශා. සෙබස්තියන් විද්‍යාලයට ආවා. විවාහකයි? ඔව්. මට දුවක් ඉන්නවා. දැන් වගකීම් වැඩියි. පාකිස්තාන සංචාරයට එක් වෙද්දි බිරිඳ මොකද කිව්වේ? මුලින් පොඩ්ඩක් යනවට අදිමදි කළා. ඒත් මේ අවස්ථාව මගේ ක්‍රීඩා දිවියට වැදගත් වන නිසා ඔවුන් කැමැති වුණා. එතකොට අම්මා, තාත්තා? මගේ තාත්තා ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරියෙක්. ඒ නිසා එයාගේ බයක් තිබුණේ නැහැ. අම්මාගෙනම් පොඩි චකිතයක් තිබුණා. එංගලන්තයේ පැවැති ඉකුත් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියටත් ඔබ ගියා. හැබැයි අතිරේක ක්‍රීඩකයෙක් විදිහට? හැමෝගෙම ආසාව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක් ක්‍රීඩා කරන එක. මගෙත් ආසාව ඒ විදිහටම තිබුණා. අතිරේක ක්‍රීඩකයෙක් හැටියටවත් මට තරගාවලියට එක්වෙන්න ලැබුණා. ඒ ගැන සතුටුයි. ක්‍රිකට් ක්‍රීඩකයෙක් නොවුණා නම්? තාත්තා යුද හමුදාවේ නිසා මාත් යුද හමුදාවට එක්වෙන්න ඉඩ තිබුණා. පාකිස්තාන සංචාරයට භානුකත් ඉන්නවා කිව්වාම මොකද හිතුනේ? අවස්ථාවක් ලැබෙයි කියලා හිතුනේ නැහැ. නොහිතපු වෙලාවක ලැබුණු අස්ථාවක් මේක. ගොඩක් සතුටු හිතුණා. මේ පණිවුඩය මුලින්ම කිව්වේ කාටද? මගේ අම්මා, තාත්තාට, මගේ පෙම්වතියට සහ මගේ හොඳම යාළුවාට. මේ අවස්ථාව ගන්න අවුරුදු 10ක් බලාගෙන ඉන්න වුණා? ඒක ලෙහෙසියෙන් ගෙවුණු කාලයක් නෙමෙයි. මීට කලින් අවස්ථාවක් උදාවෙයි කියලා හිතුණු අවස්ථා තිබුණා. ඒත් ලැබුණේ නැහැ. දන්න දේ ක්‍රිකට්, ඒ නිසා පීඩනය දරාගෙන ඒකෙන්ම ඉස්සරහට යන්න හිතුවා. ඔය කාලයේ ක්‍රිකට් නවත්වන්න හිතුනේ නැද්ද? කොච්චර පීඩනය ආවත් මගේ දෙමව්පියෝ මාව දිරිමත් කළා. මගේ ආර්ථිකමය පැත්ත ඔවුන් බලා ගත්තා. මගේ පෙම්වතිය සැන්ඩ්‍රින් පෙරේරා, මගේ සහෝදරයා සේනුක රාජපක්ෂ හැමවෙලේම මගේ ළඟින් ඉඳන් මාව දිරිමත් කළා. අන්තිම අවුරුදු පහ වෙද්දි මම ක්‍රිකට් ගැහුවේ මාව සනසවන්න කියලා හිතාගෙන. ලංකාවේ ගොඩක් තරුණයින් ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් ගහන්න යනවා. ඔබටත් ඒ වගේ අවස්ථා ලැබෙන්න ඇති? ඕනෑ තරම් අවස්ථා තිබුණා යන්න. ඒත් මට ඕනි වුණේ ලංකාවට සෙල්ලම් කරන්න. මම ආඩම්බර වෙනවා ඒ අවස්ථාව එනකම් ඉවසන් හිටිය එක ගැන. ඔය අතරේ විදෙස් තරගාවලිවලට සහභාගි වුණා නේද? බංග්ලාදේශයේ ඩකා ප්‍රිමියර් ලීග්, ඩුබායිහි පැවති ටී10, ඒ වගේම ඌව නෙක්ස්ට් කණ්ඩායම නියෝජනය කරමින් දකුණු අප්‍රිකාවේ පැවැති චැම්පියන්ස් ලීග් වගේ තරග වලට සහභාගි වුණා. එකපාරටම පාකිස්තාන සංචාරයට එක්වන්න අවස්ථාව ලැබුණාම ගෙදරින් මොකද කිව්වේ? මේ සංචාරය ගියේ නැත්නම් මට ආයෙත් කණ්ඩායමට එන්න ලේසි වෙන්නේ නැති බව මට හිතුණා. ඒ බව ගෙදර අයත් තේරුම් ගත්තා. පාකිස්තානයේ සිකියුරිටි සිස්ටම් එක ගැනත් කලින් දැනුවත් කරලා තිබුණ නිසා ලොකු ප්‍රශ්නයක් වුණේ නැහැ. සංචිතයට ඇතුළත් වුණාම, අවසන් 11 දෙනා අතරට එන්න ලැබෙයි කියලා හිතුවාද? මම ගියේ මට චාන්ස් එකක් ලැබුණොත් හොඳට කරනවා කියලා හිතාගෙන. හැබැයි රට වෙනුවෙන් පාකිස්තාන සංචාරය යන්න තීරණය කිරීම නිසා සංචිතයේ සෑම ක්‍රීඩකයෙක්ටම එක් අවස්ථාවක් හෝ දෙන්න උත්සාහ කරන බවට බලධාරීන් කියා තිබුණු නිසා විශ්වාසයක් තිබුණා. දැඩි තීරණයක් ගත්තා වුණත්, පාකිස්තානයෙන් බහිද්දි යම් චකිතයක් තියෙන්න ඇති? ගුවන්තොටුපළෙන් බහිද්දි පොඩි අවුලක් හිතට දැණුනා. ඒත් එළියට එද්දි අපිට තිබුණ සිකියුරිටි එක දැක්කම මෙච්චර අඩු වයසකින් මේ වගේ ආරක්ෂාවක් ලබන්න හැකි වීම ගැන ආඩම්බරයක් හිතුණා. දෙවැනි තරගයේදී ලකුණු 77ක් ගහලා ශ්‍රී ලංකාවට ජය ගෙනාවා විතරක් නෙමෙයි තරගයේ වීරයාත් වුණා? ඒක මට අමතක වෙන්නේ නැහැ. එදා ඉනිමේ ශාදබ් ඛාන්, ඊට පස්සෙ ඉෆ්තිකාර් එවූ බෝල හතරක් පහක් විකට් එකේ හිටියා. ඊට පස්සේ මට තේරුණා ලකුණු තියෙනවා කියලා. භානුක විස්සයි විස්ස ක්‍රීඩකයෙක් කිව්වොත්? මම කැමති නැහැ මාව ලේබල් කරනවාට. එහෙම නෙමෙයි මට ටෙස්ට් සහ එක්දින ක්‍රීඩා කරන්නත් පුළුවන්. වරෙක ඔබ ලංකාවේ පළමු පෙළ තරගයකදී ලකුණු 200 සීමාව පසු කළා? පළමු පෙළ තරගයක පන්දු 172කදී ලකුණු 268ක් ගැහුවා. ලංකාවේ වේගවත්ම 200 සහ 250 සීමාව ඉක්මවා යාම සටහන් වුණෙත් ඒකෙන්. ඒ ලකුණු සංඛ්‍යාවට හයේ පහර 19ක් ඇතුළත් වෙලා තිබුණා. ඒක ලෝකයේ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියක වැඩිම හයේ පහර වාර්තාවේ තුන්වැනි තැනට පත්වුණා. ඔස්ට්‍රේලියාවේ ඇන්ඩෘ සයිමන්ඩ්ස් සහ මම එම තෙවැනි ස්ථානයේ අදටත් සිටිනවා. භානුකට පන්දු යවන්නත් පුළුවන්? ඔව්. මට දකුණත් මඳ වේග පන්දු යවන්න පුළුවන්. ක්‍රිකට් හැර කැමතිම ක්‍රීඩාව? පොඩිකාලේ පිහිනුම් සහ ස්කොෂ් ක්‍රීඩා කරලා තියෙනවා. ඒ නිසා ඒ දෙකටම කැමතියි. පිහිනුම්, ස්කොෂ් කරපු භානුක ක්‍රිකට්වලට යොමු වුණේ? මට පොඩි කාලේ මගේ ළඟම අය කිව්වේ ‘බෝල පිස්සා’ කියලා. ඒ කාලේ ඉඳන්ම මම ක්‍රිකට්වලට ආසයි. ඒ ආසාව මේ තත්ත්වෙට ගෙනාවා. පෙම්වතියව ලැබුණේ ක්‍රිකට් නිසාද? ඇයව මුලින්ම දැක්කේ ක්‍රිකට් සංචාරයක් ඉවර කරලා එද්දි ෆ්ලයිට් එකේදි. ඇය ගුවන් සේවිකාවක්. ඇය මගේ යාලුවෙක්ගේ යාලුවෙක් වීම නිසා ටිකක් කල් ගිහින් හිතවත්කමක් ගොඩ නැගුණා. භානුක සුරතල් බල්ලො ඇති කරනවා නේද? මම දැන් නාරාහේන්පිට ඉන්නේ ඒ ගෙදර බල්ලො 7ක් ඉන්නවා. අපේ අම්මලාගේ රත්මලානේ ගෙදර බල්ලො 3ක් ඉන්නවා. භානුකගෙ වාහනය දැක්කත් දුවගෙන එන බල්ලෙක් ඉන්නවා නේද, ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේ? ඔව්. එයාගේ නම බ්‍රව්නි. ඒ හිතවත්කම ඇතිවුණේ කොහොමද? කෙත්තාරාමේ ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් තියෙද්දි ඒකේ ඉන්න බල්ලන්ව වෙනත් තැනකට ගෙනියනවා ප්‍රේක්ෂකයන්ට කරදරයක් ඇතිවෙයි කියලා. ඔහොම දවසක් ග්‍රවුන්ඩ් එකේ හිටිය බල්ලන්ව වෙනත් තැනකට අරන් යනවා කියලා ආරංචියක් ආවා. උන් පව් නිසා මම අපේ තාත්තාට එන්න කියලා බල්ලො 7 දෙනෙක් ගෙදර අරන් ගියා. මේ වැඩේට මට ලක්ෂාන් සඳකැන් පවා උදව් වුණා. ඊට පස්සේ මැච් ඉවර වුණාම බ්‍රව්නිව ආයෙත් ක්‍රීඩාංගණයට ගෙනාවා. එයා දැන් ග්‍රවුන්ඩ් එකේම ඉන්නවා. මාව දැක්කම ගොඩක් වෙලාවට එයා මම ඉන්න තැනට එනවා. කලින් ගෙනිච්ච අයගෙන් දෙන්නෙක් අපේ ගෙදර අදටත් ඉන්නවා. ඇයි මේ බල්ලො ඇති කරන්න හිතුවේ? මම ආසයි බල්ලන්ට. බල්ලො හදන්න ගත්තට පස්සේ මම මස් මාළු කන එක නැවැත්තුවා. මම මත්පැන් පානය කරන්නෙත් නැහැ. බල්ලො හදන එකෙන් මට ලොකු මානසික නිදහසක් දැනෙනවා. ගයාශාන් විතානආරච්චි ඡායාරූප - ක්‍රිෂාන් කාරියවසම්
 

More News..