brand logo

ප්‍රේමදාසලා ළඟ බොරු පම්පෝරි නෑ

10 July 2020

එළැඹෙන අගෝස්තුවෙන් පසු අපේ ආණ්ඩුවක් මගින් පැය විසි හතරක් ඇතුළත දෙන්න පුළුවන් උපරිම ලෙස තෙල් මිල අඩු කරනවා. අද තෙල් මිල අසරණ ජනතාව මත පටවලා. මේ තෙල් මිලේ වාසිය මේ ආණ්ඩුව කොරෝනා වාසියටත් වැඩිය ගනිමින් මේ පාර ඡන්ද ව්‍යාපාරවලට යෙදිලා ඉන්නවාදෝ කියලා සැකයක් මට නම් තියෙනවා’’ යැයි සමගි ජන බල වේගයේ නායක සජිත් ප්‍රේමදාස නිකවැරටියේ දී පැවැසීය. නිකවැරටියේ පැවැති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා වැඩි දුරටත් මෙසේද පැවැසීය. අද රටේ ආර්ථිකය හොඳටම කඩා වැටිලා කිසිම ආර්ථික සැලැසුමක් මේ ආණ්ඩුවට නෑ. ආර්ථික විශේෂඥයෝ යැයි කියා ගන්නා අය මාධ්‍ය සංදර්ශන පෙන්වනවා. දවස ගානේ මාධ්‍ය සිරස්තලවල විතරක් ලොකුවට පෙනී ඉන්නවා විතරයි කරන්නේ. අපේ ආණ්ඩුවක් මගින් මේ ක්‍රමවේදය වෙනුවට සහන ක්‍රම 3ක් ලබා දෙනවා. සියලුම දුප්පත් පවුලක් සඳහාම මසකට රු. 20000ක් දෙනවා. 4%ට සහන පොලී පදනම මේ ආණ්ඩුව යටතේ දෙනවා කියන ණය මුදල් තවම කිසිවෙකුට දීලා නම් නෑ. අපේ රජයක් මගින් ඒ සියලු දෙනාට 4%ට පොලී සහිත ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරනවා. බොරුවට මාධ්‍ය ඉස්සරාහට ඇවිල්ලා මේ සජිත් ප්‍රේමදාස පම්පෝරි ගහන්නේ නෑ. රණසිංහ ප්‍රේමදාසලා දෙනවා කිව්වොත් කරනවා කිව්වොත් කරලා පෙන්නන අය. ඒ නිසා මේ රටේ සියලු ජනතාව ජන සවියෙන්, ජන ශක්තියෙන්, ශ්‍රම ශක්තියෙන් නැගිටන යුගය වැඩි ඈතක නෙමෙයි. එළැඹෙන දවස් කීපයේ දී මේ රටේ රාජ්‍ය සේවකයාට දෙපාරක් නොහිතා දුරකතනය ඉදිරියේ ඡන්දය පාවිච්චි කරන්නට අවස්ථාව උදාවෙලා තියෙනවා. ඒ වෙන මොකවත් නෙමෙයි සියලු රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප අතිකාල දීමනා, අනෙකුත් අවශ්‍ය සියලු දේවල් අද මේ ආණ්ඩුව කපලා ඉවරයි. මූලික වැටුප එකතු කරපු රුපියල් 10000 එහෙම පිටින්ම කපලා. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලිය සියයට අටේ සිට පහ දක්වා අඩු කරලා. මෙහෙමයි මේ ආණ්ඩුව අද රාජ්‍ය සේවකයා දිහා හිතලා වැඩ කරලා තියෙන්නේ. ඒ නිසා අපි කියන්න කැමතියි මේ රටේ ජනතාව වෙනුවෙන් සේවය කරන ඒ සියලු දෙනා හට අපේ රජයක් යටතේ සියලු වරප්‍රසාද වරදාන ලබා දෙනවා කියලා. පසුගිය ජනාධිපතිවරණයේ දී රට විරුවන්ගේ රණ විරුවන්ගේ කර මතින් ඡන්දේ කරපු මේ උදවිය ඒ සියල්ල අද අමතක කරලා. අපේ රජයක් මගින් මේ කොබෙයිගනේ, කොටවෙහෙර, රස්නායකපුර හා නිකවැරටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල අසරණ ජනතාව සඳහා පිරිසුදු නිරවුල් ඔප්පු, සින්නක්කර ඔප්පු, කෘෂි කර්මාන්තය දියුණු කිරීමට අවශ්‍ය ජලය සහ අනෙකුත් පහසුකම් ලබා දෙනවා.     සමන් කුමාර - නිකවැරටිය
 

More News..