brand logo

ප්‍රේක්‍ෂකයන් කැමති දේ තමයි මම දෙන්නේ

27 July 2021

ප්‍රසංග වේදිකාව අහිමි වීමත් සමගම ගායික ගායිකාවන්ට ලබලා තියෙන්නේ ඒ තරම් හොඳ කාලයක් නෙමෙයි. නමුත් මොනතරම් ප්‍රශ්න ආවත් තමන් ගායනා කරපු හැම ගීතයක්ම ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම රැගෙන යන්න සමහර ගායකයන්ට හැකි වුණා. සමහරවිට මෙය වාසනා ගුණයක් වෙන්නත් පුළුවන්. දක්‍ෂතාවය වගේම මේ වාසනාවත් කැටි කර ගත්තු අපූරු ගායකයෙක් එක්ක තමයි අපි දැන් කතා කරන්නේ. පසුගියදා තමාගේ නවතම ගීතය ලෙලෙනා ලෙස එළිදක්වමින් දින 04 ක් ඇතුළත මිලියනයක රසික ප්‍රමාණයකගේ ආකර්ෂණය දිනා ගන්න නිලාන් හෙට්ටිආරච්චිට හැකි වුණා. කොහොමද නිලාන් මෙච්චර හපන් කමක් කරන්නේ?

මම හැම මොහොතකම ඉන්නේ කොතනද කියලා හඳුන ගන්නවා. අවුරුදු 06 කට කලින් මම ක්‍ෂේත්‍රයට ආපු දවසේ ඉඳලා ප්‍රේක්‍ෂකයන් මගෙන් ඉල්ලන්නේ මොනවද කියලා මම හොඳට අවබෝධ කරගෙන ඉන්නේ. කිසිම අවස්ථාවක මම කැමති දේ දෙන්න යන්න නෑ. මිනිස්සු කැමති දේ තමයි මම කරන්න උත්සාහ කරන්නේ. අනිත් එක බොහෝම ඉවසිලිවන්ත ගමනක් මම යන්නේ. මේ අවුරුදු හයට මම ගීත 15 ක් ගායනා කරලා ඇති. හැබැයි ඒ ගීත 15 ම ජනප්‍රියයි. මම ගිය සතියේ එළිදක්වපු ලෙලෙනා ගීතයට තමයි ඉහළම ප්‍රතිචාර ලැබිලා තියෙන්නේ. දවස් 4 ක් ඇතුළත මිලියනයක ප්‍රමාණයක් ඒ ගීතය නරඹලා තියෙනවා. මම හිතන්නේ මෑත කාලයේ වේගයෙන්ම ජනප්‍රිය වෙච්ච ගීතය ලෙලෙනා වෙන්න ඇති. ඕනනම් මේ අවුරුදු 06 ඇතුළත මට සිංදු 100 ක් කියන්න තිබ්බා. දවසට මා ලවා ගීත කියවා ගන්න දෙතුන් දෙනෙක් එනවා. හැබැයි මම එහෙම හැමවෙලේම එන අවස්ථාවන් ලබා ගන්නේ නෑ. නියම අවස්ථාවේ තමයි වැඩේට අත ගහන්නේ. අද මේ තරම් දුරක් එන්න හැකියාව ලැබුණේ ඒ නිසා.

ප්‍රේක්‍ෂකයන්ට ඕන විදිහට නිර්මාණ කිරීම තුළ නියම ගායකයෙක් බිහිවෙනවාද කියන ප්‍රශ්නයටත් නිලාන් උත්තර දුන්නා.

මෙහෙමයි. අපි ගීත කරන්නේ කාටද? සාමාන්‍ය ප්‍රේක්‍ෂකයට. ඔවුන් අපේ ගීත ඇහුවේ නැත්නම් අපි නිකන්ම එළියට විසික් වෙනවා. ක්‍ෂේත්‍රයට අලුතින් පිවිසෙන තරුණයෙක් මුලින්ම කරන්න ඕනි මේක අල්ලගෙන ඉන්න එක. හරියට මේකේ එල්ලුනේ නැත්නම් කොතන ඉඳන්ද නිර්මාණ කරන්නේ. යන ට්‍රෙන්ඩ් එකට හැඩ ගැහැන්න සිද්ධ වෙනවා. අවුරුදු 06 ක් මම මේ දේ කලේ බොහෝම ඉවසිල්ලෙන්. මුලින්ම කළේ විරහා ගීත. දෙවනි ගීතයත් විරහ ගීතයක්. ලෝකයෙන් යමු ගීතය බොහෝ ප්‍රේක්‍ෂකයන් වැලඳ ගත්තා. ඊට පස්සේ මං බැලුවා මිනිස්සු මගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද කියලා. 90% ක් ම විරහ ගීත තමයි බලාපොරොත්තු වෙන්නේ. දිගටම මම විරහ ගීත කළා. හැබැයි මම එහෙම කළේ අනිත් ගීත කියන්න බැරුව නෙමේ. මට ඕන සිංදුවක් කියන්න පුළුවන්. හැබැයි මම මේක ඇතුළේ ඉන්නවද කියලා තීරණය වෙන්නේ රසික ආකර්ෂණය මත. ඊට පස්සේ මම ගායනා කරපු යන්න යනවද කියන ගීතයටත් ඒ වගේම ප්‍රතිචාර ලැබුණා. ඊට පස්සේ තාලෙට කිව්වා ඔයා අතිශයින්ම ජනප්‍රිය වුණා. දැන් ප්‍රේක්‍ෂකයෝ මගේ පැත්තේ ඉන්නවා කියලා මට තේරුණා. ඒ සියල්ල ප්‍රයෝජනයට අරගෙන මේ පාර මම ආදර ගීතයක් කළා. කාටවත් තේරුණේ නැහැ, මම විරහ පැත්තෙන් චුට්ටක් එළියට පැන්නා කියලා. ඒ නිසා ලෙලෙනා කියන ගීතය මගේ ජීවිතේ ලොකු වෙනසක් කියලා මම විශ්වාස කරනවා.

අවුරුදු 06 ක කාලයක් මේ තරම් ඉවසිලිමත් ගමනක් එන්න තරුණ ගායකයෙක් වෙච්ච නිලාන් හෙට්ටිආරච්චි හිත දියුණු කර ගත්තේ කොහොමද කියලා මට නොඅසා ඉන්නම බැරි වුණා.

මේ ගමන ලේසියට ආපු ගමනක් නෙමේ. පුදුම කට්ටක් කෑවේ. ඉස්කෝලේ යන කාලේ ඉඳලම හිතාගෙන උන්නේ මියුසික් කරන්න. හතේ අටේ පන්තියෙදීම හිතා ගත්තා මියුසික් කරලා තැනකට යන්න නම් හොඳට ඉවසන්න ඕනි කියලා. මගේ මුළු ජීවිතේම මියුසික් වෙනුවෙන් කැප කළා. සංගීත කණ්ඩායම් 25 ක විතර ඉන්න ඇති. බෑන්ඩ්වලට වැඩ තියෙන්නේ අප්‍රේල්, දෙසැම්බර් මාසවලට විතරයි. හැමදාම ඔය මාස දෙකේ මගේ රැකියාව අහිමි වෙනවා. මොකද, කර කර ඉන්න රැකියාව අතහැරලා දාලා ඔය මාස දෙකේ ප්‍රසංගවලට යනවා. ගාණක් නැහැ. ආයේ රැකියාවක් හොයා ගන්නවා. ඔය විදිහට සංගීතය ජීවිතය කරගෙන අරමුණක් වෙනුවෙන් සටහන් කළා. අවසානයේ සුපර් ස්ටාර් අවසාන මහා තරගය දක්වාම ආවා. ඊට පස්සේ සනිධප සංගීත කණ්ඩායමේ නිත්‍ය ගායකයෙක් විදිහට නතර වුණා. යූටියුබ් එකේ මිලියන ගණන් ප්‍රේක්‍ෂක ආකර්ෂණය ලැබුවා. රිගින්ටෝන්වලින් ඉහළටම ආවා. අරමුණයි, ඉවසීමයි තියාගෙන තමයි මේ හැම දෙයක්ම කළේ.

බොහෝදෙනා විනාශ වෙන්නේ යාළුවෝ නිසා. නමුත් නිලාන්ගේ කතාව නම් මීට වඩා හාත්පසින්ම වෙනස්.

මගේ සාර්ථකත්වයේ ප්‍රබලම රහස මගේ යාළුවෝ. නායක්කන්ද අගරදගුරු පාසලේ සහ කඳාන ශාන්ත සෙබස්තියන් විදුහලේ මගේ යාළුවෝ ටික හැමදාම පන වගේ මගේ ළඟින් උන්නා. ඒ වගේම මම ජීවත් වෙන වත්තල ප්‍රදේශයේ යාළුවෝ නිසා තමයි මම අද මෙහෙම රජෙක් වගේ හිටගෙන ඉන්නේ. මාව වැටෙන හැම තැනකදීම ඔවුන් මගේ ශක්තිය වුණා. බොහාම නිහතමානීව කියනවා මේ යාළුවෝ නැත්නම් නිලාන් හෙට්ටිආරච්චි කෙනෙක් නැහැ. මේ සුන්දර ගමනේ තාවකාලික නවාතැන ලෙලෙනා ගීතය සමග මොහොතකට විරාමයක් තබා ඇත. තව මාස කිහිපයකට නිලංගගෙන් ගීතයක් නිර්මාණය නොවුණත් ප්‍රේක්‍ෂකයාට එතෙක් රස විඳින්නට මේ ගීතය හොඳටම සෑහේ කියා මට සිතුණේ පසුගිය සමයේ ඔහුගේ ගීත අත්පත් කරගත් ජනප්‍රියත්වය නිසාමයි. හැමෝටම කියනවා ලෙලෙනා ගීතය අහන්න. මේ ගීතය නිර්මාණය කළේ බී.ඇන්.එස්. ලා. පසුගිය කාලේ මම වැඩ කළේ ඔවුන් සමග. මේ ඉවසිලිවන්ත ගමන යන්න ඔවුනුත් මට බොහෝ දේ කියලා දුන්නා. ඒ වගේම දෙවෙනි වරටත් මගේ ගීතයේ රූප රචනයේ පෙනී සිටි කැළුම් ශ්‍රී ව ආදරයෙන් සිහිපත් කරනවා. ඔහුත් එක්ක කරපු පළවෙනි ගීතය තරමටම දෙවෙන ගීතයත් සාර්ථකයි. සමහරවිට මේ ගීතය ජනප්‍රිය වෙන්න ඔහුගේ වාසනාවත් බලපාන්න ඇත. හැමෝගෙම උදවු ජීවිතයට ලැබෙන කොට බොහෝ දේ වෙනස් වෙනවා. ඒ වෙනසත් එක්ක නිලාන් හෙට්ටිආරච්චිගේ තවත් අලුත් වැඩක් ළඟදීම ඔබට දැකගන්න පුළුවන්. ක්‍රිෂාන්ත පුෂ්පකුමාර
 

More News..