brand logo

ප්‍රීමා හා සෙරෙන්ඩිබ් පිටි මිල 8කින් නගිද්දී - පාන් මිල රුපියල් 5කින් ඉහළට

17 July 2019

තිරිඟු පිටි බෙදාහරින ප්‍රීමා සහ සෙරෙන්ඩිබ් සමාගම් තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් අටකින් ඉහළ දැමීම නිසා පාන් රාත්තලක මිල උපරිම වශයෙන් රුපියල් 5.00කින් ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පැවසුවේය. අදාළ සමාගම් තිරිඟු පිටි මිල ඉහළ දමා තිබුණද බේකරි හිමියන්ට නිල වශයෙන් දන්වා නැතැයිද ඔහු කීවේය. ඒ අනුව පාන් රාත්තලක මිල රුපියල් 60 සිට 64 දක්වා ඉහළ යාමට සාපේක්ෂව අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ගණන්ද ඉහළ යනු ඇතැයිද ජයවර්ධන මහතා පැවසීය. මෙරට බේකරි 5000ක් පමණ තිබෙන බවත්, දිනපතා ලක්ෂ දහයකට වඩා පාන් අලෙවි වන බවත් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. රුපියල් 92ක්ව පැවති තිරිඟු පිටි කිලෝග්‍රෑමයක තොග මිල ඉහළ යනු ඇතැයිද ජයවර්ධන මහතා කීවේය. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් 2016 වසරේ ජූලි මස 14 වැනිදා නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රයට අනුව තිරිඟු පිටි කිලෝග්‍රෑමයක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 87.00කි. 2018 වසරේ මහ බංකු වාර්ෂික වාර්තාවට අනුව එම වසරේදී තිරිඟු පිටි මෙට්‍රික් ටොන් (දහස්) 1297ක් මෙරටට ආනයනය කර ඇති අතර, 2017 වසරේදී ආනයනය කර තිබෙන ප්‍රමාණය මෙට්‍රික් ටොන් (දහස්) 1250කි. සාලිය කුමාර ගුණසේකර
 

More News..