brand logo

ප්‍රසන්න රණතුංගගේ නඩුව නොවැ. 25 දක්වා කල්යයි

17 September 2019

කොළොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි වගුරු බිමක් ගොඩ කිරීමට අවශ්‍ය කටයුතු ඉටුකර දීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64 ක මුදලක් ඉල්ලා තර්ජනය කළේ යැයි චෝදනා කරමින් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග සහ ඔහුගේ බිරිඳ මොරීන් රණතුංග ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවක විභාගය නොවැම්බර් මස 25 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද (17) නියෝග කළේය. මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා වෙනත් නඩු විභාගයක් සඳහා පෙනී සිටින හෙයින් එම නඩුවේ විභාගය කල් දමන ලෙස ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලීම් කළහ. එම ඉල්ලීම පිළිගත් මහාධිකරණ විනිසුරුවරයා නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය නොවැම්බර් මස 25 වන තෙක් කල් තැබීමට තීන්දු කළේය. බස්නාහිර පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේ කොළොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි වගුරු බිම් ගොඩ කර එහි රැඳී සිටින අනවසර පදිංචිකරුවන් ඉවත් කර දීමේ කටයුතු ඉටුකර දීම සඳහා ජෙරාඩ් මෙන්ඩිස් නැමති ව්‍යාපාරිකයකුගෙන් රුපියල් මිලියන 64 ක මුදලක් ඉල්ලා තර්ජනය කළේ යැයි චෝදනා කරමින් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග, ඔහුගේ බිරිඳ මොරින් රණතුංග ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනු කර තිබේ. මෙම නඩුවේ තුන්වන විත්තිකරු ලෙස නම් කරනු ලැබ සිටින නරේෂ් ෆාරික් නමැත්තා මේ වන විට අධිකරණය මගහැර විදේශගතව සිටින අතර ඔහු නොමැතිව නඩු විභාගය පවත්වා ගෙන යාමටද මහාධිකරණය විසින් තීරණය කර තිබේ. අධිකරණ වාර්තාකරු
 

More News..