brand logo

ප්‍රශ්න විඳවන්නේ නෑ... විසඳනවා

21 September 2020

ඈ කැමරාව ඉදිරියට ආවේ අම්මාගේ සුලැඟිල්ලේ එල්ලී ගෙනය. හැදෙන ගහේ දෙපෙත්ත ඇගේ අනාගතය ගැන අනාවැකි කිව්වේය. අවුරුදු හතරේ පුංචි ළදැරිය පුංචි තිරයත්, සිනමාවත් ජයගෙන පැමිණි ගමන් මග මල් තරමට කටු කොහොල් හා බොරු වළවල්වලින්ද සමන්විතය. එහෙත් ඇය අතර මග නොනැවතුණාය. අම්මා මෙන් සියලු බාධක වලින් නොසෙල්වී සාර්ථකත්වය කරා ගමන් කළාය. ඈ අන් කිසිවෙකුත් නොව පබෝධා සංදීපනී‍ය. පබෝධා අද ප්‍රබෝධයෙන් පිනිපලසට ගොඩවන්නීය. ඉතිං ප‍බෝධා කොහොමද ජීවිතේ? මේ දවස්වල නම් ටිකක් කාර්ය බහුලයි. රූ ගත කිරීම් ද නැත්නම් පෞද්ගලික ජීවිතේ වැඩ කටයුතුද? රූ ගත කිරීම් තියෙනවා. ඒ අතරෙ ඉසුරු මුදලිගේ අධ්‍යක්ෂණය කරන උදාර පල්ලියගුරු නිෂ්පාදනය කරන අලුත්ම චිත්‍රපටයට මම දායක වුණා. මේ දවස්වල “අපි අපේ” ටෙලි නාට්‍යයේත්, ප්‍රියන්ත ෆර්ඩිනැන්ඩස්ගේ “පරඬැල්” නාට්‍යයේත් රූගත කිරීම් කරනවා. “සිහින ගෙනෙනා කුමරියේ” නාට්‍යයටත් රංගනයෙන් දායක වුණා. සරත් වීරසේකර මහත්තයාගේ “ශ්‍රී සිද්ධ” චිත්‍රපටයේත් වැඩ අවසන්. ගින්දරීත් ළඟදීම එනවා? ඔව් “ගින්දරී 3” ළඟදීම තිරගත වේවි. ගින්දරී 3ත් ගින්දර වගේ තියෙයිද? අනිවාර්යයෙන්. එක, දෙක වගේම ගින්දරී 3 ටත් හොඳ ප්‍රතිචාර තියේවි. විශේෂයෙන් ළමුන් අතර ජනප්‍රිය වේවි. මොකද ගින්දරීගෙ ළමයාගෙ වටා තමයි කතාව ගෙතෙන්නේ. ගින්දරී 2 දි පුතු සවේන් ගින්දරීගෙ පුතාගෙ පුංචි දර්ශනයකට සහභාගි වුණා. සවේන් පුතා අම්මා එක්ක ගින්දරී 3ත් රඟපානවද? නෑ.. පුතා රඟපාන්නෙ නෑ. නොදන්න කාලෙ එහෙම හිටියට රඟපානවා තියා ෆොටෝ එකක් ගන්නවටත් පුතා කැමති නෑ. ඒ කියන්නෙ සවේන් පුතා ආච්චි අම්මා, අම්මා ඇතුළු අම්මගෙ පරම්පරාව ගත් මග ගන්නෙ නෑ කියලද? අනේ මංදා. දැනට නම් එහෙම බවක් පේන්නෙ නෑ. ඉස්සරහට බලමු නේද? අපේ ලොකු අයියා බිමල් වුණත් පුංචි කාලෙ කැමරාවක් පැත්තෙ ආවෙ නෑනේ. ඒත් පස්සෙ ඒ අදහස වෙනස් වුණානේ. පබෝධා කැමැතිද පුතා නළුවෙක් වෙනවට? මට ඕන පුතා හොඳ මනුස්සයෙක් කරන්න. එයාට නිදහස තියෙනවා කැමති වෘත්තියක් තෝරා ගන්න. ඒකට මගේ බලපෑමක් නෑ. තාම ඉතිං අවුරුදු 7යිනේ. කැමති තීරණයක් ගන්න එයාට තව කල් තියෙනවා. අම්මා රඟපානවටත් පුතා කැමැති නැද්ද? එහෙම දෙයක් නෑ. එයා මම රඟපානවා බලන්න ආසයි. පහුගිය සතියෙ චිත්‍රපට උළෙලෙදි ගින්දරී ප්‍රදර්ශනය කරද්දි පුතාගෙ වුවමනාවට පුතයි මමයි තමයි බලන්න ගියේ. හඬ කැවීම් සඳහා ළඟකදි සම්බන්ධ වුණේ නැද්ද? කාලෙකින් ඒ සඳහා නම් ආරාධනා ලැබුණෙ නැහැ. කාලෙකට කලින් දෙරණෙ පෘථිවි මහ රජ, අධිරජ ධර්මාශෝක, ගෞතම ශ්‍රී සම්බුද්ධ වගේ නිර්මාණවලට හඬ කැව්වා. මට ලැබුණ හැම චරිතයක්ම හොඳ ප්‍රධාන චරිත. ළඟකදි නම් හඬින් නිර්මාණයකට දායක වුණේ නෑ. රංගන කටයුතුයි, පුතාගෙ කටයුතුයි, ගෙදර වැඩයි ජීවිතේ වෙහෙසට පත් කරන්නෙ නැද්ද? තාම නෑ... පුතාගෙ වැඩවලට එයාගෙ තාත්තාගෙ සහායත් ලැබෙනවානේ. අම්මාගේ උදව්වත් අඩුවක් නැති නිසා තාම මම වෙහෙසට පත්වෙලා නෑ. සිදත් රංගනයට තහංචි දාන්නෙ නැද්ද? නෑ..මම රඟපෑවේ විවාහයට කලින්නේ. ඒ බව එයා දන්නවානේ. ඒ නිසා පස්සෙ තහංචි නෑ. විවාහ වුණා, දරුවා ලැබුණා කියලා වෙනසක් නෑ. පබෝධා ඉස්සර හිටිය වගේමයි. දවසින් දවස තරුණ වීමේ රහස මොකක්ද? හැම දෙයක්ම අපි මනසින් හදා ගන්න දේවල්. හැඩරුව වුණත් එහෙමයි. මම හිතන්නෙ මම වයසට යන්නෙ නෑ කියලා. මම වයසයි කියලා මටවත් හිතෙන්නෙ නෑ. පබෝධා මානසිකව ශක්තිමත් කියලද කියන්නෙ? ඔව්. මම මානසිකව ශක්තිමත් කෙනෙක්. ජීවිතේ එන ප්‍රශ්නවලදි මම මනසින් වැටෙන්නෙ නෑ. ඒ වගේම මම මගේ පාඩුවෙ ඉන්න කෙනෙක්. පබෝධා කවදත් ප්‍රශ්නයක් තමන්ගෙ දණිස්සට උඩින් ගත්ත කෙනෙක් නෙමෙයි? ඔව්. මම කැමතියි සැහැල්ලුවෙන් ඉන්න. ප්‍රශ්න කියන්නෙ විසඳගන්න පුළුවන් දේවල්. එහෙම නැතුව විඳවන්න ඕන දේවල් නෙමෙයි. කාලයක් පුතාගෙ අධ්‍යාපනය වෙනුවෙන් විදෙස් ගත වෙන්න බලාපොරොත්තුවක් තිබුණා නේද? ඒ අදහස අතහැරියා. එහෙ ගිහින් මම මොනවා කරන්නද? පුතා යවලා මට මෙහෙ ඉන්න පුළුවන්ද? ඒ නිසා ඒ අදහස වෙනස් කළා. තාත්තා තාම ජීවත් වෙන්නෙ විදෙස් ගතවද? තාත්තා ලංකාවට ඇවිත් හිටියා. ආපහු ගියේ එන්න බලාගෙන. ඒත් කොරෝනා නිසා දැන් එන්න බැරුව ඉන්නේ. ·කොරෝනා ජීවිත උඩු යටිකුරු කළා. පබෝධාට කොරෝනා ආර්ථිකව දැනෙන බලපෑමක් කළේ නැද්ද? ඇයි නැත්තෙ? මොනවා වුණත් අපි දවස් පඩි කාරයෝ. වැටුපක් නැතුව මාස ගාණක් ගෙදරට වෙලා ඉන්න අපට පුළුවන්කමක් නෑ. මම කවදත් ඉතුරු කරන කෙනෙක්, ඒ නිසා ඒ මාස දෙකේ ලොකු ප්‍රශ්නයක් වුණේ නෑ. ඒත් මාස දෙකෙන් පස්සෙ වැඩ පටන් ගත්තා. පුතත් ඉන්න නිසා බයක් දැණුනෙ නැද්ද? දැනුණා. අදටත් ඒ බය දැනෙනවා. ඒත් මොනවා කරන්නද? මම අර මුලිනුත් කිව්වනේ අපි දවස් පඩිකාරයෝ. අත හෙලෙව්වොත් තමයි කට හොලවන්න පුළුවන් වෙන්නෙ. ඒත් කොරෝනා මට මතක් කරලා දුන්නා රංගනයට අමතරව ව්‍යාපාරයක්වත් කරන්න ඕන කියලා. මොකද අපේ අනාගතය අස්ථාවරයි. ඒක අපේ අම්මට, මට විතරක් නෙමෙයි රංගනය විතරක් ජීවිකාව කර ගත් හැමෝටම තියෙන අනියත බියක්. ව්‍යාපාරයක් ගැන හිතුවද? තාම නෑ අනේ. ගැළපෙන දෙයක් කරන්න ඕනෑ. පබෝධාගෙ මව් පාර්ශ්වයේ හැමෝම කලාවට සම්බන්ධයි. පවුලේ සාමාජිකයන්ට විවිධ හැකියාවන් තියෙනවා. මේ හැමෝම එකතු කරගෙන චිත්‍රපටයක්, ටෙලි නාට්‍යයක් වුණත් නිෂ්පාදනය කරන්න බැරිකමක් නෑ..? නිවී සැනසිල්ලෙ හිතද්දි ඒ අදහසෙත් වැරැද්දක් නෑ.. නළු නිළියො විතරක් නෙමෙයිනේ අපේ පවුලේ ඉන්නේ. වේෂ නිරූපණ ශිල්පීන් ඉන්නවා. ලොකු අයියා බිමල් වුණත් හොඳ කැමරා ශිල්පියෙක්නේ. අදහස නම් නරක නෑ. හවුලේ වැඩ කරලා තියෙන හොඳ හිත නැති කරගන්නත් මම කැමති නෑ. පුතා නිසා අනාගත බලාපොරොත්තු ගොන්නක් ඇති? පුතා තමයි ලොකුම බලාපොරොත්තුව. පුතාව හොඳ මනුස්ස‍යෙක් කරන්න ඕනෑ. හොඳට උගන්නන්න ඕනෑ. ඒ වෙනුවෙන් තමයි මම වෙහෙසෙන්නේ. හිමේෂා සවන්තී රාජපක්ෂ ඡායාරූප - අසන්ත ගමආරච්චි
 

More News..