brand logo

ප්‍රශ්න කිරීමකින් තොරව විදෙස් මුදල් රැගෙන එන්න අවසර දීම අවදානම්

12 May 2020

කොවිඩ් වෛරසය ව්‍යාප්තිය හමුවේ ආර්ථිකය ශක්තිමත් කරගැනීම සඳහා කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව රටට විදේශ මුදල් රැගෙන ඒමට අවසර ලබාදීම මගින් මුදල් විශුද්ධිකරණය පිළිබඳ අවදානමක් මතුව ඇතැයි ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය අනතුරු හඟවයි. එම ආයතනය පවසන්නේ රටේ විදේශ සංචිත ශක්තිමත් කිරීම සඳහා ඕනෑම ශ්‍රී ලාංකිකයකුට කිසිදු කොන්දේසියකින් තොරව විදේශ මුදල් මෙරටට රැගෙන ඒමට අවසර දීම හේතුවෙන් නීතිවිරෝධී ලෙස මුදල් රැස්කළ පිරිස්වලටද මුදල් රැගෙන ඒමට අවකාශ සැලසී ඇති බවයි. ‘‘විදේශ මුදල් සංචිත ඉහළ නැංවීම සඳහා ප්‍රතිපත්තිවල අවශ්‍යතාවය ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් හඳුනාගෙන ඇති අතර, ඕනෑම නව ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණ විරෝධී රාමුවට අනුකූල විය යුතු බව අපි තරයේ විශ්වාස කරමු’’ යැයි එම ආයතනය ප්‍රකාශ කරයි. එසේම ‘‘ශ්‍රී ලාංකික ආර්ථිකයට බොහෝ දුරට අහිතකර ලෙස බලපාන පරිදි මුදල් විශුද්ධිකරණය දිරිගැන්විය හැකි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම භාරකාර රජයකට අනුවණකමකි’’ යනුවෙන් ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි. එම නිසා මුදල් විශුද්ධිකරණයට එරෙහිව අන්තර්ජාතික ප්‍රමිතීන් සකස් කර අරමුදල් ප්‍රභවයන් පිළිබඳව සොයා බැලීමට සාධාරණ පියවර ගත යුතු බව අවධාරණය කර සිටී. නයන තරංග ගමගේ
 

More News..