brand logo

ප්‍රශ්නය අරලිය සහල් නම් ආණ්ඩුවට ගන්න

02 January 2020

රටේ ලොකුම ප්‍රශ්නය අරලිය සහල් ව්‍යාපාරය නම් එය රජයට පවරා ගත්තාට තමාට ප්‍රශ්නයක් නොමැති බව ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පැවසීය. මනුසත් දෙරණ ව්‍යාපෘතිය සහ ඩඩ්ලි සිරිසේන ප්‍රජා සත්කාරක පදනම එක්ව සංවිධානය කරන ලද පොළොන්නරුව - හිඟුරක්ගොඩ ප්‍රධාන මාර්ගය දෙපස පැළ 6000 ක් සිටුවීමේ පළමු අදියර ආරම්භ කිරීම සඳහා ඊයේ (01 වැනිදා) පැවැති උත්සවයේදී ඔහු මේ බව කියා සිටියේය. එහිදී අදහස් දැක්වූ ඩඩ්ලි සිරිසේන මෙසේද පැවැසීය, “මේ රටේ කටමැත විතරක් දොඩවන දේශපාලනඥයන්ට මම යෝජනා කරනවා මගේ උපදෙස් අරගෙන රට වෙනුවෙන්,ගොවි ජනතාව වෙනුවෙන් වැඩක් කරන්න මගෙත් එක්ක එකතු වෙන්න කියලා. මටත් දැන් ආතතිය හැදිලා තියෙන්නේ.මේ කතාව ඉවරයක් නෑනේ. මම දන්නවා ඒක පාලනය කරගන්න ක්‍රමය. රටේ, එහෙම නැත්නම් රජයේ ලොකුම ප්‍රශ්නය අරලිය සහල් ව්‍යාපාරය නම් ඒක දෙන එක කොච්චර හොඳයිද කියන්නකෝ.විශේෂයෙන්ම පොළොන්නරුවේ දේශපාලනඥයන්ට මම කියනවා ඔබට නැති කරන්නට ඕනේ නම් මේ ආයතන පවරා ගත්තට මට ප්‍රශ්නයක් නෑ.මට ජීවත් වෙන්න තව ආයතන ගොඩාක් තියෙනවා.” අද සමාජයේ මහා ලොකු ව්‍යසනයක් විදිහට කතා කරනවා සහල් මිල සම්බන්ධව. විශේෂයෙන් අරලිය සහල් මෝල සම්බන්ධව. මම අද අභියෝගයක් කරනවා කටමැත දොඩවන්නේ නැතිව මේ ස්ථානයට ඇවිත් බලලා මේ ගැන ක්‍රියාමාර්ගයක් ගන්න කියලා. මට මේවා තිබ්බත් එකයි නැතත් එකයි. මම මේවා යද්දී බදාගෙන අරගෙන යන්න හදන මිනිහෙක් නොවෙයි. මේ රටේ ආර්ථිකය වනසපු එකට මමද වගකියන්න ඕනේ. රටේ සහල් හිඟයක් ඇතිවෙලා තිබෙන බව ඇත්ත. මේක හිඟයක් නොවෙයි. මේක රජයේ ක්‍රියාකලාපය අනුව ඇතිවූ දෙයක්. අද රටම මහලොකුවට කතා කරන විශේෂයෙන්ම පොළොන්නරුවේ ඇතැම් දේශපාලනඥයෝ කතා කරන මේ සයිලෝ ව්‍යාපෘතියේ ඔය සයිලෝ විස්සම පුරවලා තියෙන්නේ වීවලින්. රටේ කොහොමද හාල් හිඟයක් තියෙන්නේ. ඒ විස්සෙන් 16 ක් පුරවලා තියෙන්නේ කීරි සම්බා. සම්බා සහ නාඩු තිබෙන්නේ එකයි දෙකයි. මේක මගේ වරදක්ද. ජනාධිපති ගෙන යන මේ වැඩපිළිවෙළට මම ශක්තියක් වෙන්න කැමතියි. නමුත් ඒක පිළිගන්නේ නැත්නම් සාධාරණ තක්සේරුවක් කරලා මේ මෝල රජයට පවරා ගන්න.” යැයි ඔහු පැවසීය. සාලිය කුමාර ගුණසේකර
 

More News..