brand logo

ප්‍රමාණයට වඩා දවසකට ලුණු ග්‍රෑම් 8ක් කයි

28 June 2020

ශ්‍රී ලාංකිකයන්ගේ දෛනික ලුණු භාවිතය දෙගුණයකින් ඉහළ ගොස් ඇති බව බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනය සිදුකළ නවතම පර්යේෂණයකින් අනාවරණය වී ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශවලට අනුව පුද්ගලයකු දිනකට භාවිත කළ යුත්තේ ලුණු ග්‍රෑම් පහක් පමණි. එහෙත් වර්තමානයේ ශ්‍රී ලාංකිකයන් ලුණු ග්‍රෑම් 13ක් භාවිත කරන බව පර්යේෂණයෙන් හෙළි වී තිබේ. දිවයින පුරා පුද්ගලයන් 850ක් මෙම පර්යේෂණයට සම්බන්ධ වී ඇත. ඔවුන්ගේ මූත්‍රා සාම්පලවල ඇති ලුණු ප්‍රමාණය මගින් මෙම පර්යේෂණය සිදුකර ඇත. අධික ලුණු භාවිතය හේතුවෙන් අධි රුධිර පීඩනයට ගොදුරු වන ශ්‍රී ලාංකිකයන්ගේ සංඛ්‍යාවද වැඩිවී ඇති බව බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනයේ පෝෂණ අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස පැවසුවාය. විශේෂයෙන්ම ශ්‍රී ලාංකික කාන්තාවන් බත් පිසීමේදී අධික වශයෙන් ලුණු භාවිත කරන බවත් සහල් ප්‍රමිතියෙන් යුතුව නිෂ්පාදනය කරන බැවින්ලුණු භාවිත කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවද ඇය අවධාරණය කර සිටියාය. කරවල සහ හාල්මැස්සන් නිෂ්පාදනයේදී ද අවශ්‍ය ප්‍රමාණයට වඩා ලුණු භාවිත කිරීමද ගැටලුවක් වී ඇති බව මෙම පර්යේෂණයේදී හෙළිවී ඇත. උදයජීව ඒකනායක
 

More News..