brand logo

ප්‍රධාන නගරවල රජයෙන් නිවාස සංකීර්ණ

03 August 2020

ඕනෑම කෙනෙකුට රුපියල් මිලියන දහයකට වඩා අඩු මුදලකට නිවසක් මිලදී ගත හැකිවන පරිදි ප්‍රධාන නගර කිහිපයක නිවාස සංකීර්ණ ඉදිකිරීමට රජය තීරණය කර ඇත. අදාළ නිවසේ ඉඩම රජය විසින් නොමිලේ ලබා දේ. මිලියන දහයකට වඩා අඩු මිලකට මෙම නිවාස මිලදී ගැනීම සඳහා 6.25% පොලියකට අවුරුදු විසි පහක දීර්ඝ කාලීන ණය මුදලක් ලබා දීමට අපේක්ෂා කරන බව නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දුවික්‍රම පැවැසුවේය. ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (01 වැනිදා) අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදීය. ඕනෑම කෙනෙකුට මිලට ගැනීමට හැකිවන ලෙස කොළඹ, ගාල්ල, මාතර, නුවර, කුරුණෑගල සහ අනුරාධපුරය වැනි ප්‍රධාන නගරවල නිවාස පන්දහසත් දසදහසත් අතර ප්‍රමාණයක් ඉදිකිරීමට යෝජිත බවද ලේකම්වරයා කීවේය. මීට අමතරව රජයේ සහ පෞද්ගලික අංශයේ සේවකයන් වෙනුවෙන් කුලී නිවාස ඉදිකිරීමටද බලාපොරොත්තු වන බව ආචාර්ය ප්‍රියත් බන්දුවික්‍රම කීවේය. කොළඹ හරිත නගරයක් ලෙස හා හම්බන්තොට, ත්‍රිකුණාමලය හා යාපනය ප්‍රධාන මහ නගර ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් සකස්කර ඇතැයිද කී ඔහු තවත් නගර පනහක් සංවර්ධනය කිරීමට අදාළ ගැසට් නිවේදන නිකුත් කෙරෙන බවද කීවේය. මාලඹේ සිට කොළඹ කොටුව දක්වා සැහැල්ලු දුම්රිය මාර්ග ව්‍යාපෘතිය නතර කර පෞද්ගලික අංශයේ සහාය ඇතිව ටෙන්ඩර් කැඳවා අඩු වියදමකින් ඒ හා සමගාමී ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙමින් පවතින බවද ඔහු පැවැසුවේය. මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් හෙක්ටයාර පනස් පහක අතිවිශාල වගුරු බිමක් ගොඩකර කොන්ක්‍රීට් දුම්රිය අංගණයක් ඉදිකිරීමට සැලසුම් කර තිබූ බවද පැවැසුවේය. නව ව්‍යාපෘතියට අනුව මෙම දුම්රිය මාර්ගය අතුරුගිරිය දක්වා අලුතින් කිලෝමීටර අටකින් දීර්ඝ කරන බවද හෙතෙම කීවේය. පසුගිය ආණ්ඩුව නාගරික සංවර්ධන අධිකාරිය මගින් රුපියල් මිලියන 347 ක්, අමාත්‍යාංශයෙන් රුපියල් මිලියන 150 ක් හා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවෙන් රුපියල් මිලියන 101 ක් ලෙස රුපියල් මිලියන 592 ක් පමණ උත්සව හා ප්‍රචාරණ වියදම් ලෙස වැයකර තිබෙන බවද කීවේය. නිවාස අමාත්‍යාංශය යටතේ සිදුකළ ගනුදෙනු සම්බන්ධයෙන් අභ්‍යන්තර විගණනයක් සිදුකර ඇතැයිද ලේකම්වරයා කීවේය. අජිත් අලහකෝන්
 

More News..