brand logo

ප්‍රධාන චරිතයක් රඟපාන්න කිලෝමීටර් බර ගාණක් ඇවිද්දා

07 July 2021

චමීර ලියනගේ කියන්නේ කලෙක ඉඳන් වෙනස්ම ආකාරයට ප්‍රේක්ෂකයන් අතරට එන චරිතයක්. මේ දිනවල චමීර ‘වලවෙට්ටුවා’ තුළ තවත් අපූරු චරිතයක් නිරූපණය කරනවා. එකිනෙකට වෙනස් චරිත නිරූපණය කරන මේ අපූරු නළුවා සමග අපි ළෙන්ගතු කතාවකට මුල පිරුවා.

ආයෙමත් වෙනස් චරිතයක් ලැබිලා නේද?

රනිල් කුලසිංහ අයියා මාව වෙනස්ම ආකාරයේ වැඩකට අරගත්තා. වලවෙට්ටුවා ප්‍රධාන චරිතයට දායක වෙන්න ලැබීම වාසනාවක් කියලා මම හිතන්නේ. මොකද මේ වගේ චරිතයක් මම කවදාවත් නිරූපණය කරලා නැහැ.

ඔබේ චරිතය ගැන කෙටියෙන් කියන්නකෝ...

වලවෙට්ටුවා කියන්නේ හිතුවක්කාර, රස්තියාදුකාර, නහයට අහන්නේ නැති කුකුල්ලු කොටවන කොල්ලෙක්. වෙල්මා කියන්නේ මම හිතෙන් ආදරය කරන කෙල්ල. ඇය පිරිමින්ට වෛර කරනවා. ජීවිතේට සෙකන්ඩ් නොවෙන මම වෙල්මා ළඟ සැලෙන්ඩර්.

කුකුල්ලුන්ට කොච්චර ආදරේ කළාද කියනවා නම් දැන් මම කුකුළු මස් කන්නෙත් නැහැ.

කොහොමද පොර කුකුල්ලු එක්ක ගත කරපු ජීවිතය...

මීට කලින් මම කුකුළෙක් අතින් අල්ලලා තිබුණේ නැහැ. කුකුල්ලුන්ට කොච්චර ආදරේ කළාද කියනවා නම් දැන් මම කුකුළු මස් කන්නෙත් නැහැ. ඒ තරම් කුකුල්ලුන්ට ආදරේ කරන්න ගත්තා.

චමීර කොහොමද මේ ගමන පටන් ගත්තේ?

ඉස්කෝලේ ගිහින් ඉවරවෙච්ච ගමන්ම නළුවෙක් වීමේ උණ ඔළුවට ගැහුවා. එදා ඉඳලා පාරවල් ගාණේ ඇවිදලා චරිත හොයාගෙන ගියේ නළුවෙක් වෙන්නමයි.

කොහාටද ඉස්කෝලෙ ගියේ...

කොළඹ වෙස්ලි විද්‍යාලයට. කතෝලික ඉස්කෝලයක් වුණාට හොඳ බෞද්ධ පදනමක් තිබුණා. බෞද්ධ සංගමයේ, විවාද කණ්ඩායමේ ප්‍රධාන කාර්යයක් ඉෂ්ට කළා. ඊට පස්සේ සම්පත් අත්තටගේගේ විද්‍යා පන්තියේ කලා කටයුතුවලට දායක වුණා.

මේක ෆිල්ම් ස්ටෝරියක් වගේ නේද?

ඇත්තටම ඔව්. නමුත් අපිට ලැබෙන්නේ ටෙලියක් නම් ඒක භාරගන්න වෙනවා. කොටස් 100ක හොඳ ටෙලි නාට්‍යයක්.

අපි මහ ලොකු සල්ලිකාරයෝ නෙවේ

ගෙදරින් ලැබුණු සහාය කොහොමද?

අපි මහ ලොකු සල්ලිකාරයෝ නෙවේ. අම්මයි, තාත්තයි කඩවත ග්‍රොසරියක් කරනවා. අක්කා විවාහ වෙලා. අයියා රට. මල්ලි ඉස්කෝලේ යනවා. මගේ නිර්මාණ ඔක්කොම කැමැත්තෙන් බලන්නේ අම්මා. ගෙදර හැමෝම කැමතියි මම නළුවෙක් වුණාට.

නළුවෙක් වෙන්නේ කොහොමද?

හින්දි චිත්‍රපට බලන්න කැමතියි. ජෝ අබේවික්‍රම මහත්තයාගේ රඟපෑම් බලලා බොහෝ දේ ඉගෙන ගත්තා. මහේන්ද්‍ර සර්ගෙ, අනෝජා මිස්ගෙ පන්තිවලට ගියා. හැම තත්පරේම නළුවෙක් වෙන්න ඉගෙන ගන්නවා.

රඟපාන එක ලේසිද?

මේ ලෝකේ අමාරුම දේ රඟපාන එක. බොහෝ දෙනා සාලේ සුවපහසුවට බලන චරිත රඟපාන්න අපි ගොඩක් දුක් විඳිනවා. අව්ව, වැස්ස වෙනසක් නැහැ. පිටතට පෙනෙනවාට වඩා ඇතුළතින් නළුවෙක් දුක් විඳිනවා.

ප්‍රධාන චරිතයක් මුලින්ම රඟපාන්නේ...

ගයා රම්‍ය අල්විස්ගේ ‘කොළඹ අහස යට’ නාට්‍යයේ ප්‍රධාන චරිතයක් ලැබුණා. මගේ ජීවිතේ වෙනස් කරපු ප්‍රබල චරිතයක් ලෙස ඔහුව හඳුන්වන්න පුළුවන්.

ඔබ රඟපාපු අභියෝගාත්මක චරිතය...

හැම චරිතයක්ම අභියෝගයක් තමයි. නමුත් රන්තිලි වැවේ දාසගේ චරිතය වෙනුවෙන් මාර දුකක් වින්දා. මාව නාට්‍යයට තෝරගත්ත ගමන් ඇහුවේ පීනන්න පුළුවන්ද කියලා. මම කිව්වා තනියම පීනන්න පුළුවන්, කාවවත් කරේ තියාගෙන පීනන්න බැහැ කියලා.

මාර කට්ටක් කෑවා කිව්වේ...

ගල්ගමුවේ කට්ට අව්වේ රූපගත කිරීම් කළේ. ගල් තලාවට අව්ව වැටිලා පිච්චෙනවා. රොඩී කොල්ලගේ චරිතය රඟපාන නිසා ඇඟේ ඇඳුමක් නැහැ. පටන් ගන්න සීන් එකම වතුරේ ගිලෙන්න තියෙනවා, යට යනවා, උඩ එනවා.. විනාඩි හතරක සීන් එක ගන්න දවසක් ගියා.

අනිත් අය රඟපාන දිහා බලාගෙන මගේ ජීවිතේට දෙයක් ලබාගන්න උත්සාහ කරනවා

ඔබේ පවුලේ කවුද කලාවට සම්බන්ධ?

අපේ පරම්පරාවේ කලාකරුවෝ නැහැ. ඇවිදලාම තමයි මේ චරිත හොයාගත්තේ. මුලින්ම ලැබුණේ චූටි චූටි චරිත. ප්‍රධාන චරිතයක් රඟපාන්න කිලෝමීටර බර ගාණක් ඇවිද්දා. මම පුංචි චරිත රඟපාන නාට්‍යයේ ප්‍රවීණයෙක් රඟපානවා නම් මම බලාගෙන ඉන්නවා. අදටත් එහෙමයි. විවේකයක් ලැබුණොත් කරන්නේ අනිත් අය රඟපාන දිහා බලාගෙන මගේ ජීවිතේට දෙයක් ලබාගන්න උත්සාහ කරනවා. අලුත් කොල්ලෝ ෆෝන් කනේ ගහගෙන ඉන්නකොට මම මාව සොයන්න උත්සාහ කරනවා.

දක්ෂතාවයෙන්ම මේකේ ඉස්සරහට යන්න පුළුවන්ද?

ඒක ලේසි නැහැ. ඉස්සරහට යන්න නම් සම්බන්ධතා අනිවාර්යයෙන්ම ඕන වෙනවා. කවුරු හරි ප්‍රවීණයෙක් මූ හොඳයි කියලාවත් කියන්න ඕන. එහෙම අගයකිරීමක් නැතුව මේකේ ඉස්සරහට යන්න බැහැ.

වෘත්තීය නළුවෙක් හැටියට ජීවත් වෙන්න පුළුවන්ද?

මම මුලින්ම සිවිල් ඉංජිනේරුවෙක් හැටියට මගේ අයියා ළඟ වැඩ කළා. ගෙදරින් කන්න බොන්න ලැබෙනවා. ඒක නිසා මුලදි ප්‍රශ්නයක් වුණේ නැහැ. දැන් නම් ලැබෙන චරිතයත් එක්ක ජීවත් වෙන්න ප්‍රමාණවත් මුදලක් ලැබෙනවා. කොහොමටත් ආර්ථිකය ශක්තිමත් කරගන්න නම් අපි විවිධ චරිත රඟපාමින් දක්ෂතා ගොඩනගාගත යුතුමයි.

ඔබ මේ වෙනස කළාද?

ඇත්තටම ඔව්. වෙස්, දාම්, රන්තිලි වැව, කොළඹ අහස සහ වලවෙට්ටුවා තුළ මම විවිධ චරිත කළා. සදාකාලික ප්‍රෙමවන්තයා වෙන්න උත්සාහ කළොත් කලාවේ ලොකු ගමනක් නැහැ කියලා මට හිතෙනවා.

නළුවෙක් පෙනුම ගැන හිතන්න ඕනේ නේද?

පෞරුෂය කියන්නේ නළුවෙක්ට ආභරණයක්. මම හැමදාම උදේට දුවනවා. මගේ ටාගට් එක කොහෙද කියලා මම දන්නවා. දැන් මට අවුරුදු 32ක්. නමුත් පොඩ්ඩක්වත් මගේ බඩ නැහැ. බඩ ආවොත් මගේ නළුකම ඉවරයි. රෑට පොඩි පාටියකට ගියාට අනිවාර්යයෙන්ම උදේට දුවලා මගේ පෙනුම රැකගන්න උත්සාහ කරනවා.

ටීනාගෙන් සෑහෙන්න කනේ පාරවල් කාලා තියෙනවලු නේද?

අම්මෝ, මතක් කරනකොටත් බයයි. දැනට වලවෙට්ටුවා කොටස් 14ක් රූපගත කරලා ඉවරයි. ටීනගෙන් හොඳ සැර කනේ පාරවල් තුනක් කෑවා.

රඟපානකොට ඔය තරම් ගුටි කන්න ඕනෙද?

මෙහෙමයි, ඒ ෂොට් එක හරියට ගන්න මම ඕනම දෙයක් කරනවා. වලවෙට්ටුවා නාට්‍යයේ මට පොලු පාරක් වදිනවා. කොටින්ම විනාඩි දහයක් යනකම් මම ඇස් ඇරියේ නැහැ.

හැමෝම ඒ අවදානම දන්නවාද?

නොගන්න අයත් ඉන්නවා. නමුත් මම ගන්නවා. මේ ළඟදි රඟපානකොට බයික් එකේ ක්ලච් එක කැඩිලා හැප්පිලා වැටුණා. නමුත් ගණන් ගත්තේ නැහැ. ටීනගෙනුත් මම ලොකු කැපකිරීමක් දැක්කා. මම හිතාගෙන උන්නේ ටීනා කියන්නේ අව්වේ ඉන්න අකමැති කෙල්ලෙක් කියලා. නමුත් වලවෙට්ටුවා නාට්‍යයේ කට්ට අව්වේ ඉඳගෙන ඇය චරිතයට කරන්න හදන සාධාරණය දැක්කාම මට අදහාගන්න බැරිවුණා.

දැන් බඳින්න කාලෙත් හරි නේද?

කාලෙ නම් හරි. නමුත් යන්න ඕන ටාගට් එකක් තියෙනවා. ඉස්සරහට ඒකට යන්න ඕන.

එතකොට දරුවෙක් මල්ලෙක් එපාද?

දෙයියනේ ඕනේ... විශේෂයෙන්ම දාම් රඟපාන කොට මම මාස ගාණකට තාත්තා කෙනෙක් වුණා. පුංචි දුවෙක්ගේ ආදරය මගේ පපුවට තදින් දැනුණා. ඒ ආදරේට මම මේ මොහොතෙත් ලෝබයි. පොඩි එකී සෙට් එකට ආපු ගමන් මගේ ඔඩොක්කුවට පනින්නේ. දුවෙක්ගේ ආදරය තාත්තා කෙනෙක්ට සම්පතක්...

ඉතින් ඇයි ඒ අදහස ඉෂ්ට කරගන්නේ නැත්තේ...

බලමු.. බලමු. එහෙම දවසක් එයි.

ප්‍රේම කරලම නැද්ද?

හොඳට ආදරේ කරලා තියෙනවා. ආදරේ විඳලා තියෙනවා. ආදරේ විහරව උපරිමයෙන් විඳලා තියෙනවා.

ජනප්‍රියත්වයත් එක්ක එන ආදරේ බොරුවක් නේද?

ඒක අපිට මෙහෙමයි කියන්න බැහැ. ජනප්‍රියකමට ආදරේ කරන අය වගේම අවංකව ආදරේ කරන අයත් ඒ අතර ඉන්න පුළුවන්.

ඒ කියන්නේ හිතේ රැඳුණ ආදරයක් නැහැ...

හිතේ කෙනෙක් ඉන්නවා. මම විශ්වාස කරනවා එයා මගේම වෙයි කියලා.

දැන් කොච්චර කල්ද ක්ෂේත්‍රයට ඇවිත්?

අවුරුදු දොළහක් වෙනවා. හැබැයි තවමත් මම ඉගෙන ගන්නවා. මැරෙනකම්ම ඉගෙන ගනියි.

පාරට බැස්සම කොහොමද ලැබෙන ආදරේ?

ඒකත් ඇස්වලට කඳුළු එන සීන් එකක්. මට මතක් වෙනවා චරිත හොයාගෙන පාරේ ගිය හැටි. අද ඒවා සැබෑ වෙලා. හැබැයි මේ දවස්වල මාර්ස් එක දැම්මාම කාටවත්ම අඳුන ගන්න බැහැ. රන්තිලි වැව යන කාලේ ආච්චිලා මට මාර කැමතියි. අනේ අපේ වෙද මහත්තයා කියලා අත අල්ල ගන්නවා.

චමීර කියන්නේ කොහොම කෙනෙක්ද?

ආතල් එකේ කාලා බීලා අනික් අයටත් උදව් කරගෙන ඉන්න කැමති කෙනෙක්. හොඳ සමාජ ආශ්‍රයක් තිබුණත් මම වැඩියෙන්ම කැමති තනියම ඉන්න.

මම කැමති නැහැ නිකරුණේ කාලය නාස්ති කරන්න

තරුණ කොල්ලෙක් ඇයි එහෙම ඉන්නේ...

මම හැම තත්පරේම ඉගෙන ගන්නවා. කොටින්ම කතා කරන්න දෙයක් නැත්නම් රුපවාහිනී වැඩසටහනකටවත් යන්නේ නැහැ. මම කැමති නැහැ නිකරුණේ කාලය නාස්ති කරන්න.

ඔබේ රඟපෑම ගැන අහපු සතුටු හිතෙන දේ මතකද?

ගොඩක් ප්‍රවීණ අයගේ අගය කිරීම්වලට කැමතියි. අමිත්ත වීරසිංහ අයියා කිව්වා රන්තිලි වැවේ චරිතය නියමෙට රඟපෑවා කියලා කිව්වා. ශ්‍යාම් අයියා කිව්වා තරුව දැන් තමා පායන්නේ කියලා.

සම්මාන ලැබිලා නැද්ද?

නිර්දේශ වෙලා නම් තියෙනවා. නමුත් තාම ලැබුණේ නැහැ.

කැමති නැද්ද සම්මානවලට?

තරුණ නළුවෙක්ට සම්මානයක් කියන්නේ ලොකු ආශිර්වාදයක්. ජනප්‍රිය නළුවා සම්මානයෙන් වැඩක් නැහැ. ඒක සල්ලි දීලත් ගන්න පුළුවන්. නමුත් රංගනය වෙනුවෙන් ජූරියේ සම්මානය ලැබීම තරුණ නළුවෙක්ගේ ගමනට ශක්තියක්. හැබැයි ලංකාවේ ටෙලිවිෂනය තුළ ඒ අවස්ථාව තරුණ නළුවන්ට ලැබෙන්නේ කලාතුරකින්.

අද ඉන්න තරුණ නළුවෝ කොච්චර දක්ෂද..

ඇයි එහෙම වෙන්නේ?

ඒකට උත්තරේ අපි ළඟ නැහැ. අද ඉන්න තරුණ නළුවෝ කොච්චර දක්ෂද.. මම විශ්වාස කරනවා ඉදිරියේදී ඔවුන්ගේ ගමන ශක්තිමත් කරන්න සම්මාන ලැබෙයි කියලා.

කැමතිම නළුවෝ කවුද?

ජෝ අබේවික්‍රම හා ගාමිණී ෆොන්සේකාට කැමතියි. මෑත කාලීනව රොෂාන් රවීන්ද්‍ර රඟපානවා බලන්න මාර ආසයි.

චිත්‍රපට බලනවද?

මේ දවස්වල මලයාලම් චිත්‍රපට බලනවා. මාර නැචුරල් ඇක්ටින් තියෙන්නේ.

ඔබත් ස්වභාවික රංගනයට කැමතියි නේද?

වලවෙට්ටුවා බලන්නකෝ. සියයට සීයක් ස්වභාවික චරිතයක් කරන්නේ. ජීවිතේට කුකුල්ලු අල්ලලා නැති මම කකුළන්ට ආදරේ කරනවා.

පොර කුකුල්ලු මාර වසයි නේද?

ලංකාවේ ඉන්න වසම පොර කුකුල්ලු තමයි රඟපාන්න ගේන්නේ. හැබැයි මගේ අතට ආපු ගමන් හීලෑ වෙනවා. මගේ උරහිසේ නිදාගන්නවා. හැබැයි ජයසිරි අයියා අතට ගිය ගමන් ජරා කරනවා, කොටනවා.

කොහොමද හීලෑ කරගත්තේ?

උන් ලක්ෂ ගණන්වලට කොටවන කුකුල්ලු. මම අයිතිකාරයා එක්ක කතා කරලා විස්තර අහනවා. කුකුල්ලු එක්ක කතා කරනවා. උන්ට හොඳට තේරෙනවා.

ලැබුණු ජීවිතේ ගැන සතුටුද?

උපරිමයෙන් සතුටු වෙනවා. ඇවිදලා මහන්සි වෙලා ලබාගත්තු ජීවිතයක් මේ. ඒ ජීවිතේට පුදුමාකාර විදිහට ආදරේ කරනවා. ක්‍රිෂාන්ත පුෂ්පකුමාර
 

More News..