brand logo

ප්‍රදේශ රැසක සහල් හිඟයක්

20 May 2020

සහල් තොග සඟවාගෙන සිටින වී මෝල් හිමියන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. එහි සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා සදහන් කළේ අද දිනයේ සිට දිවයින පුරා වැටලීම් සිදුකිරීමට කටයුතු කරන බවයි. මේ වන විට වෙළඳපොළ තුළ සහල් හිගයක් මතුව තිබේ.සම්බා, නාඩු සහ කැකුළු සහල් හිඟයක් දිවයිනේ ප්‍රදේශ රැසකින් වාර්තා වෙයි. අප්‍රේල් මස 10 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි සහල් වර්ග කිහිපයක් සඳහා රජය විසින් උපරිම මිලක් නියම කරනු ලැබුවේය. ඒ අනුව සම්බා සහ නාඩු සහල් කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 90 මිලක්ද, කැකුළු සහල් කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 85 ක මිලක් ද නියම කර තිබේ. කෙසේවෙතත් සහල් අලෙවිසැල් හිමියන් පවසන්නේ වී මෝල්හිමියන් විසින් සහල් කිලෝවක් වෙළඳපොළට නිකුත් කරනු ලබන්නේ ද උපරිම සිල්ලර මිලට වඩා වැඩි මුදලකට බවයි. එම නිසා පවතින මිල ගණන් යටතේ සහල් අලෙවි කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව සහල් වෙළඳුන් සඳහන් කළේය. පසුගිය කාලය තුළ පමණක් වැඩි මිලට සහල් අලෙවි කළ වෙළඳුන් 770කට පමණ නඩු පැවරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබේ. තවදුරටත් වෙළඳපොළ තුළ කෘත්‍රිම සහල් හිගයක් මවා පෑමට උත්සාහ දරන්නේ නම් ඒ පිළිබඳව ද නීතිය ක්‍රියාත්මක කරන බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා සඳහන් කළේය.
 

More News..