brand logo

ප්‍රතිශක්තිය නංවන බෙහෙතක් ගේන්න මහාචාර්ය විමලවංශ සූදානම්

28 April 2020

නිරෝධායන මධ්‍යස්ථාන වෙත ඇතුළු කෙරෙන පුද්ගලයන්ගේ ප්‍රතිශක්තිය ඉහළ නංවා එම මධ්‍යස්ථානවලින් වාර්තා වන කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව සැලකිය යුතු ලෙස පහත දැමීමට ඉවහල් කරගත හැකි ඖෂධයක් මෙරටට ආනයනය කිරීමට මැදිහත් විය හැකි බව කීර්තිමත් වසංගත රෝග විශේෂඥයකු වන මහාචාර්ය සුනිල් විමලවංශ ප්‍රකාශ කරයි. විටමින් ඩී වර්ගයට අයත් අධි මාත්‍රාවකින් යුත් අදාළ ඖෂධය මේ වන විටත් අමෙරිකාව, නවසීලන්තය, චීනය, තුර්කිය, බ්‍රිතාන්‍යය සහ පිලිපීනය ඇතුළු රටවල් රැසක් විසින් ප්‍රතිශක්තිය ඉහළ නැංවීම සඳහා භාවිත කරන බව ද මහාචාර්යවරයා පවසයි. මහාචාර්ය විමලවංශට අනුව ඔහුගේ මැදිහත් වීම මත ලබා ගත් මෙම ඖෂධ තොගයක් ඉන්දියාවට ද යොමු කොට ඇත. නවදිල්ලියේ දී ලබන සතියේ පටන් නිරෝධායන මධ්‍යස්ථාන ආශ්‍රිතව භාවිතයට ගැනීම ආරම්භ කිරීමට නියමිතය. මෙම මෙගා මාත්‍රයකින් යුත් කැප්සියුලය ලබා දීම ඔස්සේ කොවිඩ්-19 වෛරසය ආසාදිතයන් 30%කින් අඩු කර ගැනීමේ හැකියාව ඇතැයි අපේක්ෂ කෙරේ. මහාචාර්යවරයා යෝජනා කරන ක්‍රමවේදයට අනුව අදාළ කැප්සියුලය (ඖෂධය) නිරෝධායන මධ්‍යස්ථාවලට ඇතුළු කෙරෙන අවස්ථාවේ දී පුද්ගලයන්ට ලබා දී දින කිහිපයක් ඇතුළත ඔවුන් ලබන ප්‍රගතිය පිළිබඳව නිරීක්ෂණය කෙරෙනු ඇත. එම නිරීක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය ලැප්ටොප් පරිගණක ඇතුළු නවීන පහසුකම් සම්පාදනය කිරීමේ හැකියාව තමා ඇතුළු ඇමෙරිකානු පර්‌යේෂණ කණ්ඩායමකට ඇති බව ද හෙතෙම පවසයි. මහාචාර්ය විමලවංශ වැඩිදුරටත් සඳහන් කරන්නේ රජය විසින් විධිමත්ව අනුමැතිය ලබා දෙන්නේ නම් රජයට කිසිදු පිරිවැයක් දැරීමකින් තොරව අදාළ ඖෂධ මෙරටට ආනයනය කර දීමට තමාට හැකියාව පවතින බවයි. ඖෂධවලට මෙන්ම ගුවන් ගමන් පිරිවැය දැරීමට ද තමා ඇතුළු කණ්ඩායමට හැකියාව පවතින බව ද ඔහු සඳහන් කරයි. මහාචාර්ය විමලවංශ විසින් මෙම ඖෂධය සහ එය භාවිත කිරීම සඳහා යෝජනා කරන ක්‍රමවේදය සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිට දැනුම් දී ඇත. අනතුරුව ඔහු නිල වශයෙන් අදාළ තොරතුරු අන්තර්ගත ලිපියක් සෞඛ්‍ය අමාත්‍යාංශයට යොමු කර ඇත. අනුමැතියට යොමු කළ එය අමාත්‍යාංශයේ ඉහළම නිලධාරියකුගේ මේසය මත නතර වී ඇතැයි වාර්තාවේ. මහාචාර්යවරයා විසින් කොවිඩ්-19 වෛරසය ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා තමා යෝජනා කරන මෙම වැඩපිළිවෙළ පිළිබඳව කොවිඩ්-19 මර්දනය කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ද දැනුවත් කර ඇත.   නයන තරංග ගමගේ
 

More News..