brand logo

ප්‍රතිඵල අනුව ක්‍රීඩා ඇමතිටත් ගෙවීම් කළා නම් හරීන්ට අතිනුත් ගෙවන්න වෙනවා

18 August 2019

මෙරට ක්‍රිකට් වංශකතාවේ ඉහළම ප්‍රතිඵලවලට හිමිකම් කියන ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම්වරයා ඔහුය. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට වර්තමානයේ අත්ව තිබෙන ඉරණම සහ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය කෙබඳු වේදැයි අපි ඔහුගෙන් විමසුවෙමු. ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු ලේකම් නිශාන්ත රණතුංග ඒ සම්බන්ධයෙන් අප හා අදහස් දැක්වූයේ මෙලෙසිනි. මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් පරිහානිය එක රැයකින් සිදුවූවක් නෙමෙයි. එය කාලයක් පුරා සිදුවූ සිදුවීම් මාලාවක ප්‍රතිඵලයක් වෙන්න පුළුවන්. ඔබත් ඉතා මෑතක සිටි පරිපාලකයෙක්. එදා නිසි ආයෝජනයන් කර තිබුණා නම් අද මේ වගේ අහේනියක් නොවන්න තිබුණා. අපි 2014 ක්‍රිකට් පරිපාලනයෙන් අයින් වෙනකොට ක්‍රිකට් ක්‍රීඩාව ටෙස්ට් එක්දින සහ විස්සයි විස්ස කියන රටාවන් තුනේම ලෝකයේ මුල් කණ්ඩායම් තුන අතරෙ හිටියා. ඒ වගේම ජාත්‍යන්තර ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීම් මුල් දහදෙනා අතර අපේ ක්‍රීඩකයන් තුනක් හතරක් හිටියා. ඒකට හේතු වුණේ ක්‍රීඩකයන්ගේ දක්ෂතාවන් ඔප මට්ටම්කර ගන්න පරිපාලකයන් හැටියට අපිට හැකියාවක් තිබුණු නිසා. පරිපාලනයේදී ක්‍රිකට් ක්‍රීඩාව ගැන දැනුම තියෙන අයගේ අදහස් අරගෙන හරි පුද්ගලයන්ව හරි තැන්වලට අපි දැම්මා. ඒ වගේම අපේ පරිපාලන යාන්ත්‍රණය තුළ මුදල් හරි තැන්වලට යෙදෙව්වා. අපි ක්‍රිකට් ආයතනය භාර ගන්නකොටත් ක්‍රීඩාව ගැන සමහර අයට සැකයක් තිබ්බා අපි මේක හරියට කරන එකක් නැහැ කියලා. හැබැයි අපි ලෝක කුසලාන අවසන් මහා තරග හතරකට කණ්ඩායම රැගෙන ආවා. අපෙන් පස්සේ පරිපාලනය ආවාට පස්සේ ක්‍රීඩාව ප්‍රසිද්ධ වුණේ තරග පාවාදීමේ සිද්ධි සම්බන්ධයෙන්. ඒකට හේතුව වුණේ ක්‍රීඩාවට සම්බන්ධ නොවිය යුතු පුද්ගලයන් ක්‍රීඩාවට සම්බන්ධ වුණ නිසයි. අපි සිම්බාබ්වේ වගේ තරගාවලි පරාජය වෙද්දි ඒවාගෙන් ආදායම් උපයපු අය හිටියා. අවුරුදු තුනක් ඇතුළත අලුත් ක්‍රීඩකයන් 60 දෙනෙක් ක්‍රීඩා කෙරෙව්වා. පුහුණුකරුවන් හතරදෙනෙක් හිටියා. තේරීම් කමිටු තුනක් විතර හිටියා. කළමනාකරුවෝ තුන්දෙනෙක් හිටියා. ඒවාගෙන් ක්‍රීඩාවේ අවිනිශ්චිත භාවයක් ඇති කළා. ඒකෙන් වුණේ ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වැටෙන්න පුළුවන් උපරිම තැනට වැටුණු එකයි. ඒකට පරිපාලකයන් විතරක් නෙමෙයි හිටපු ක්‍රීඩා ඇමැතිවරුත් වගකියන්න ඕනේ. ඔබ සිටි පරිපාලන කාලය බැබළුණේ සංගක්කාර, මහේල, දිල්ශාන් කියන ඒ කාලේ හිටිය හොඳම ක්‍රීඩකයන් නිසා කිව්වොත්? අපි අයින් වෙනකොට සංගා, මහේල, ඩිල්ශාන්ලාගෙන් හිස්වන පුරප්පාඩුවලට චන්දිමාල්, තිරිමාන්න වගේ හොඳ ක්‍රීඩකයන් කිහිපදෙනෙක් පෙළගස්වලා තිබුණේ. නමුත් අපි අයින් වුණා විතරයි ඔවුන්ව කණ්ඩායම්වලිනුත් අයින් කෙරුණා. අපේ පරිපාලනයේදි අපි කවදාවත් තේරීම් සඳහා අතගැහුවේ නැහැ. පුහුණුකරුගේ කටයුතුවලට අතගැහුවේ නැහැ. ඒත් අපෙන් පස්සේ ආපු පරිපාලකයෝ ඒ සේරම කරන්න ගත්තා. ඒ නිලධාරීන්ට ඕනේ වුණේ තමන්ගෙ පැවැත්ම රැකගෙන ඒගොල්ලන්ට ඡන්දය දිනන්න උදව් කරපු සමහර ක්‍රීඩා සමාජවලට උදව් කරන්න. නමුත් ඒ පදනම වෙනස් කරලා තමන්ට ඡන්දය දුන්නු අයගෙ ක්‍රීඩකයන්ට කණ්ඩායමේ අවස්ථාවක් දෙන්න මේ අය කරගෙන ගිය වැරදි වැඩපිළවෙළත් මේ තත්ත්වය ඇතිවෙන්න හේතුවක්. ඔබගේ පරිපාලන අවධියේ ලෝක කුසලාන අවසන් මහා තරග හතරකට ආවා. ඒ වගේ තත්ත්වයකට කණ්ඩායම ගේන්න පරිපාලනයේ සිදුවුණු වෙනස්කම් මොනවාද? අපි මූලික වශයෙන් කළේ ක්‍රීඩකයන්ට අවශ්‍ය පහසුකම් දීලා දේශීය ක්‍රිකට් ක්‍රීඩාව හොඳ තරගකාරී තත්ත්වයකට රැගෙන ආපු එක. අපි හොඳ පුහුණුකරුවන් ලබාගත්තා. ඒ වගේම ක්‍රීඩාවේ දැනුම තියෙන අයව පුහුණු කාර්යමණ්ඩලයටත්, තේරීම් කමිටුවටත්, ක්‍රිකට් කමිටුවටත් ලබාගත්තා. ඔවුන්ගේ දැනුම සහ මග පෙන්වීම නිසා තමයි අපිට මේ වගේ තත්ත්වයකට එන්න පුළුවන් වුණේ. අපි පරිපාලනයේ හිටියා මිසක් ඒ අංශවලට අත දැම්මේ නැහැ. ඒ කියන්නේ එදා ඔබ ඇතුළු පරිපාලනයේ සැලසුම්වලට පිටින්ද වත්මන් පරිපාලනය කටයුතු කරන්නේ? මම දකින විදිහට ක්‍රිකට් ක්‍රීඩාවෙන් දිනන්න නම් අපි කිසියම් උපාය මාර්ගයන් පාවිච්චි කරන්න වෙනවා. ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩාව වට්ටන්න ඕනේ නම් තව කෙනෙක්ට ඒ විදිහට උපාය මාර්ග හදන්නත් පුළුවන්. අපෙන් පස්සේ ආපු පරිපාලනය කරේ ක්‍රීඩාව වැට්ටීම සහ තරග පාවාදීම වැනි දේවල් මේකට ගෙනැල්ලා ක්‍රීඩාවේ යහගුණ අයින් කරලා තමන්ට වාසිදායක දේවල් කරගත්ත එකයි. තේරීම් කමිටුව, පුහුණුකරුවන්, ක්‍රීඩකයන්ගේ පටන් අවිනිශ්චිත භාවයක් මේ අය නිරන්තයෙන් ඇති කළේ ඒ නිසයි. මේ තත්ත්වය ඇතිවෙන්න හේතුව ඒකයි. ඔබගේ සමයේත් ක්‍රීඩක කොන්ත්‍රාත් සම්බන්ධයෙන් ක්‍රීඩකයන් සහ පරිපාලනය අතර යම් යම් මතවාද තිබුණා. ඒ කොන්ත්‍රාත් වැඩි කරලා ක්‍රීඩකයන්ට වැඩි ආදායම් ලැබෙන ක්‍රම අද තිබුණත් ඒකෙන් ක්‍රීඩාවට සෙතක් වෙලා නැහැ? පරිපාලකයෝ කවදාවත් සැමට ප්‍රිය වෙන්න නරකයි. අපි දැනගන්න ඕනේ ක්‍රිකට් ආයතනයට ලැබෙන මුදල්වලින් සියයට 10ක පමණ ප්‍රතිශතයක් ආයතනය තුළ අතිරේක වශයෙන් රඳවාගෙන ක්‍රීඩකයාගේ සිට පාසල් ක්‍රිකට් සංගමයට ආදී වශයෙන් අංශ හත අටක් අතරේ බෙදන්නේ කොහොමද කියලා. එහෙම නැතිව හිතවත් ක්‍රීඩා සමාජවලට, හිතවත් දිස්ත්‍රික් ක්‍රීඩා සමාජවලට මිලියන සිය ගණන් දීලා මුදල් කාබාසිනියා කළොත් ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුවක් කවදාවත් දකින්න බැහැ. පසුගිය දවස්වල ලංකාව ලෝකේ තියෙන දූෂිතම ක්‍රිකට් රාජ්‍යය ලෙසින් හංවඩු ගැහුවා. මේවා එක රැයින් වෙන දේවල් නෙමෙයි. මේ සම්බන්ධයෙන් ඔබගේ පරිපාලන කාලයට ඇඟිල්ල දික්වෙන්නේ නැද්ද? අපේ ක්‍රිකට් පරිපාලනය කවදාකවත් ඒ වගේ ජරා විදිහට ලේබල් වුණේ නැහැ. ඒත් ඔය කාරණය නිසා අයි.සී.සී. එක ලංකාව තුළ ක්‍රිකට් දූෂණ විමර්ශන ඒකකයක් පවා ස්ථාපනය කරන්න හැදුවා. පාරිපාලකයන්ගෙ තිබුණු වැරදි පාලනය කරන්න රට තුළ නීතිය තියෙද්දිත් ඒක නවත්වන්න බැරි වුණා. මහින්ද රාජපක්ෂ වගේ ජනාධිපතිවරු, මහින්දානන්ද වගේ ක්‍රීඩා ඇමැතිවරු දැඩි ස්ථාවරයක ඉඳලා ක්‍රීඩාවට අවශ්‍ය පහසුකම් ලබාදුන්නා. ඒ නිසා අපිට පහසු වුණා මේ වැඩේ හරියට කරන්න. හැබැයි ඊට පස්සේ පත් වුණු ක්‍රීඩා ඇමැතිවරු ක්‍රිකට් ක්‍රීඩාවට එකතු කර නොගත යුතු අයව එකතු කරගන්න පුළුවන් ආකාරයට ක්‍රීඩා නීතිය පවා වෙනස් කළා. උදාහරණයක් විදිහට ගත්තොත් මහින්දානන්ද ක්‍රීඩා අමාත්‍යාවරයාගේ කාලයේ භාණ්ඩාගාරිකගේ තනතුරට සුදුසුකම්ලත් ගණකාධිකාරිවරයකු පත්කර ගන්න ඕනේ කියලා නීතියක් තිබ්බා. ඊට පස්සේ ඒ නීතිය වෙනස් කළා ගිණුම් ලිපිකරුවකුට වුණත් ඒ තනතුරට එන්න පුළුවන් විදිහට. ඒ වගේ දේවල්වලින් ක්‍රිකට් ක්‍රීඩාව තවත් දරුණු අතට හැරෙනවා. ඔබගේ කාලයේ සහාය පුහුණුකරුවකු ලෙස සිටි හතුරුසිංහව තියාගන්න කියලා සංගක්කාර වැනි ක්‍රීඩකයන් ලිඛිතව පවා ඉල්ලලා තිබුණා. ඒත් හතුරුසිංහව ඒ කාලේ තියා ගත්තේ නැහැ? හතුරුසිංහට යන්න වෙච්ච හේතුවක් තිබුණා. කිසියම් තරගාවලියකදී වුණු සිද්ධියක් මත හිටපු පරිපාලනය ඔහුව ඊළග තරගාවලියට යොදා ගන්නෙ නැතිව ඉන්න තීරණය කළා. මොකද ඒ වෙලාවේ හතුරුසිංහව තියාගත්තා නම් ඒක හොඳ පූර්වාදර්ශයක් වෙන්නේ නැහැ. ඒ නිසා ඔහු යන්න ගියා. ක්‍රීඩකයින් ඇවිල්ලා විවිධ ඉල්ලීම් කළා. නමුත් පුහුණුකරුව තෝරා ගන්න ඕනේ පරිපාලකයෝ මිසක් ක්‍රීඩකයෝ නෙමෙයි. එදා හතුරුසිංහ කණ්ඩායමත් එක්ක හිටියා නම්, මීට වඩා හොඳ ප්‍රතිඵලයක් අද ඔහුගෙන් ගන්න තිබුණා? ඒක කියන්න අමාරුයි. කොච්චර හොඳ පුහුණුකරුවෙක් වුණත් තමන්ගේ පාලක මණ්ඩලයේ තියෙන නීතිරීතිත් එක්ක වැඩ කරන්නේ නැත්නම් පාලකයෝ ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්න ඕනේ. ඔහුගේ පුහුණු කිරීම් සම්බන්ධයෙන් අපිට කිසිම ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. ඔහුව ‘ඒ’ ටීම් එකේ ඉඳලා ජාතික කණ්ඩායමට ගෙනාවේ අපි. ඔහුව ජාතික පුහුණුකරු කරන්නත් අවශ්‍ය කටයුතු ඒ කාලේ අපි කළා. හතුරුසිංහගේ හොඳ ගුණාංග කළමනාකරණය කරගන්න පුළුවන් කණ්ඩායමක් එක්ක තමයි අපි හැම වෙලාවේම ඔහුව යෙදෙව්වේ. උදාහරණයක් විදිහට හතුරුසිංහවයි, ගුරුසිංහවයි එකට දැම්මාම දෙන්නම කලබලකාරයෝ දෙන්නෙක්. සමහර හොඳ පුහුණුකරුවෝ කලබලයි. හැබැයි ඒ වගේ පුහුණුකරුවෙක් ඉන්නකොට අපි දාන්න ඕනේ ඒකට ඔරොත්තුදීලා කටයුතු කරන්න පුලළුවන් කළමනාකරුවෙක්ව. ගෙදරක අම්මයි තාත්තයි දෙන්නම යක්කු වගේ හිටියොත් බෑනේ. ඔබ ශ්‍රී ලංකා ක්‍රිකට් වත්මන් පරිපාලකයා විදිහට හිටියා නම් හතුරුසිංහගේ ප්‍රශ්නෙදි ඔබ මොකක්ද ගන්න පියවර? අපි පරිපාලකයෝ හැටියට පුහුණුකරුගේ රාජකාරිය ඔහුට කරන්න දෙන්න ඕනේ. ඒ වගේම තේරීම් නිලධාරීන්ගේ රාජකාරිය ඔවුන්ට කරන්න දෙන්න ඕනේ. එහෙම කළා නම් මෙහෙම දේවල් වෙන්නේ නැහැ. හතුරුසිංහට ගෙඩිය පිටින් දුන්න නිසා ඔහුටත් ලොකු පීඩනයක් ආවා. හතුරුසිංහ කියන්නේ මම දන්න විදිහට තරග පාවාදීම්වලට සම්බන්ධ වෙන කෙනෙක් නෙවෙයි. තමන්ට පරිපාලනය ගැන ඔහුට විශ්වාසයක් නැති නිසා තමයි තමන්ට පුහුණුකරු හැටියට බලතල වැඩිකරගෙන ලංකාවට ආවේ. ඔහු බලතල ගත්තේ ඔහුගේ ආරක්ෂා වීමට. අනික හතුරුසිංහව මේ වෙලාවේ යවනවාද නැද්ද කියන එක ඇමතිතුමාගේ තීරණයක් වෙන්න බැහැ. මේ තියෙන තත්ත්වය උඩ හතුරුසිංහව අයින් කරන එකද එකම විසඳුම? මෙතැන ප්‍රශ්නය තියෙන්නේ හතුරුසිංහගෙ නෙමෙයි ඔහුව අයින් කරලා දෙවියන්වහන්සේ ගෙනාවත් මේක හදන්න බැහැ මේ තියෙන පරිපාලනයත් එක්ක. ලෝකේ ඉන්න පුහුණුකරුවන් අතර මුල් ස්ථාන තුනේ ඉන්න එක් පුහුණුකරුවෙක් තමයි හතුරුසිංහ. හතුරුව පරිපාලනය කරන්න පරිපාලකයෝ දැනගන්න ඕනේ. ක්‍රීඩා අමාත්‍යවරයාට අවශ්‍ය නම් හතුරුසිංහව ගෙදර යවන්න ඒක සම්පූර්ණයෙන් වැරදියි. ඒක පරිපාලනමය තීරණයක් විය යුතුයි. අයි.සී.සී. ය කැමැති නැහැ ක්‍රීඩා ඇමැතිවරු ක්‍රිකට් ක්‍රීඩාවට අනවශ්‍ය විදිහට අතපොවනවාට. හතුරුසිංහගේ වැටුප ඇමෙරිකානු ඩොලර් 40,000 ක් කියනවා. ඔබතුමා පරිපාලනයේ හිටියානම් ඒ වගේ වැටුපකට පුහුණුකරුවෙක් ගේනවද? අපි ඉන්න කාලේ අපි කියන ගාණට පුහුණුකරු කැමති නම් අපි ගත්තා. ඒ මුදලට කැමැති නැත්නම් අපේ ගාණට කැමැති වෙන පුහුණුකරුවත් එක්ක තමයි අපි ගියේ. 2014 විස්සයි විස්ස ලෝක කුසලාන දිනනකොට අපේ පුහුණුකරු මාවන් අතපත්තු. ඔහුට ඒ කාලේ ඔය කියන පඩියෙන් හතරෙන් එකකටත් අඩු පඩියක් තිබුණේ. නමුත් අවාසනාවකට අපි පරිපාලනයෙන් ගියා විතරයි අතපත්තුවත් මොවුන් කණ්ඩායමෙන් ඉවත් කළා. රූපවාහිනී විකාශන අයිතිය ගැනීමේදී ලොකු මාෆියාවක් තියෙනවා කියලා හරීන් ඇමැතිතුමා කියනවා. ජනාධිපති කාර්යාලයෙන්, අග්‍රමාත්‍ය කාර්යාලයෙන්, ක්‍රීඩා අමාත්‍යංශයෙන්, ක්‍රිකට් ආයතනයෙන් වගේම අයි.සී.සී. නියෝජිතයෙක් ඉන්නකොට ප්‍රසිද්ධියේ මේක කරන්න ඕනේ කියලා ඔහු යෝජනාවකුත් කළා? මම නම් හිතන්නේ නැහැ ක්‍රිකට් විකාශන අයිතිය සම්බන්ධයෙන් ජනාධිපති, අගමැති කාර්යාලයෙන් නියෝජිතයෝ එන්න ඕනේ කියලා. විගණක අංශයේ කෙනෙකුත්, ක්‍රීඩා අමාත්‍යාංශයේ කෙනෙකුත්, ක්‍රිකට් පාලක මණ්ඩලයේ කිහිප දෙනකුත් දාලා ඒක ටෙන්ඩර් පටිපාටියක් යටතේ විවෘතව ප්‍රසිද්ධියේ කරන්න ඕනේ. එතකොට තමයි හොඳම මුදල ලැබෙන්නේ. හරීන් ප්‍රනාන්දු ඇමැතිතුමා හැම කාර්යාලයෙන්ම නිලධාරීන් දැම්මා කියලා කරන ක්‍රමවේදය වැරදි නම් වැඩක් වෙන්නේ නැහැ. ජයග්‍රහණ වැඩිවෙද්දි ගෙවීම් ලබාදෙන ක්‍රමයක් ගැන ක්‍රීඩා අමාත්‍යවරයා කියනවා? සාමාන්‍යයෙන් ඕනෑම ආයතනයක මූලික පඩියක් තියෙන්න ඕනේ. ඒක පුහුණුකරුවටත් තියෙන්න ඕනේ ක්‍රීඩකයාටත් තියෙන්න ඕනේ. හැබැයි තරග ජයග්‍රහණය කරද්දි අතිරේක දීමනා දෙන එකේ වැරැද්දක් නැහැ. ක්‍රීඩා ඇමැතිවරයා කියන විදිහට දක්ෂතාව පදනම්කරගෙනම ගෙවීම් කරනවානම්, ඇමැතිවරයාගෙත් කරන වැඩ අනුව පඩිය තියෙන්න ඕනේ. හැබැයි ඒ විදිහට පඩිය දෙනවා නම් එතුමාට පඩි ගන්න නෙමෙයි අතිනුත් ගෙවන්න වෙයි. පහුගිය දවසක වත්මන් ක්‍රිකට් සභාපතිවරයා කිව්වා ‘පුහුණුකරු ගේන්න කියන්නෙත් මීඩියා, ආයෙත් යවන්න කියන්නෙත් මීඩියා කියලා’....? පුහුණුකරුවෝ ගේනවාද යවනවාද කියන එකට වඩා එතුමාලා එතන ඉන්න ඕනෙද නැද්ද කියලා මාධ්‍යයෙන් කියනවා. එහෙනම් එතුමාලා ඒක අහලා මුලින්ම ක්‍රීඩාවෙන් අයින්වෙන්න ඕනේ. මහේල ජයවර්ධන පුහුණුකරුවෙක් විදිහට යම් ස්ථාවර තත්ත්වයකට ඇවිත් ඉන්නවා. මහේල ලංකාවට ආවොත් හතුරුට වෙච්චි වැඩේ ඔහුටත් වෙයිද? මහේල කියන්නේ ඉතාමත් හොඳට මොළේ තියෙන කෙනෙක්. ඒකනේ එයා එන්න බැහැ කියන්නේ. එයා දන්නවා එයා කොච්චර දක්ෂයෙක් වුණත් මෙහෙ ක්‍රමවේදයේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඇවිල්ලා වැඩක් නෑ කියලා. මහේල විතරක් නෙමෙයි මුරලි, ප්‍රමෝද්‍ය, කලුවිතාරණ, අවිශ්ක, රුවන් කල්පගේ, අනූෂ සමරනායක කියන්නෙත් වැඩක් ගන්න පුළුවන් දක්ෂයෝ. ටෙස්ට් මැච් සියයක් විතර ගහලා එක්දින දෙසීයක් තුන්සීයක් ගහපු ක්‍රීඩකයන් අපේ රටේ ඉන්නකොට මොකටද එක ටෙස්ට් මැච් එකක්වත් ගහලා නැති සුද්දන්ව ගෙනල්ලා අපේ ක්‍රීඩකයන්ට උගන්වන්න දෙන්නේ. පහුගිය සමයේ මහේල, සංගක්කාර ඇතුළු පිරිස ලංකාවේ ක්‍රිකට් ගොඩගන්න ක්‍රමයක් ගැන යෝජනාවක් ක්‍රීඩා අමාත්‍යාංශයට දුන්නා? ක්‍රිකට් ආයතනයෙන් දැනුමක් තියෙන දක්ෂයො දෙන යෝජනා භාර ගන්නේ නැහැ. ඒ නිසා තමයි ක්‍රීඩා අමාත්‍යාංශයට ඒක දෙන්න ඇත්තේ. වත්මන් ක්‍රිකට් පරිපාලකයෝ කැමති සදාකාලිකවම ක්‍රිකට් ආයතනයේ මුදල් ඡන්ද දෙන අයට ලබාදීලා මුදල් උපයාගන්න පුළුවන් ක්‍රමවේද ගැන විතරයි. එහෙම නැතුව ක්‍රිකට් දියුණු කරන්න අවශ්‍ය දෙවල්වලට ඔවුන් අවස්ථාවක් දෙන්නේ නැහැ. තාවකාලික පුහුණුකරුවෝ හතු පිපෙන්න වගේ පත්කෙරෙනවා. ඇතිවෙලා තියෙන තත්ත්වයට මේවා විසඳුම්ද? මේවා පුහුණුකරුවවත්, නායකයාවවත්, තේරීම් කමිටුවවත් වෙනස් කරලා විසඳන්න පුළුවන් ප්‍රශ්න නෙමෙයි. මේ ප්‍රශ්නය විසඳන්නනම් පරිපාලනයේ වෙනසක් සිදුවිය යුතුයි. මම කියන්නේ නැහැ අපි පරිපාලනයට එන්න ඕනේ කියලා. දක්ෂ පරිපාලකයෝ ලංකාවේ ඉන්නවා. නමුත් හොරකම් වංචාවලට සම්බන්ධ අය හිටියොත් මේ තත්ත්වයෙන් ගොඩගන්න බැහැ. 2014 විස්සයි විස්ස ලෝක ශූරයන්ට ලබන අවුරුද්දේ තියෙන විස්සයි විස්ස තරගාවලියට තේරීම් වටයකින් පස්සේ තමයි සහභාගි වෙන්න වෙලා තියෙන්නේ? ඒක ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක්. දැන් යන විදිහට මට තියෙන එකම බය දෙවැනි පෙළ තරගාවලියට අපි වැටෙයිද කියලා. ඒ තත්ත්වෙට වැටුණොත් ගොඩ එන්න අමාරුයි. ක්‍රීඩා ඇමැතිවරුත්, රජයත් මේ ක්‍රිකට් පරිපාලනයත් මේ තත්ත්වයට වගකියන්න ඕනේ. පරිපාලනය වෙනස් වුණාට පස්සේ ක්‍රිකට් තරගවල ප්‍රවේශපත්වල මිල දෙගුණයකින් විතර ඉහළ දාලා තියෙනවා? ක්‍රිකට් පරිපාලනයේදී වැදගත්ම කොටසක් තමයි නරඹන්නන් ක්‍රීඩාවට ගෙන්වා ගැනීම. ක්‍රිකට්වලට නරඹන්නො ආවේ නැත්නම් ක්‍රිකට් දියුණු වෙන්නේ නැහැ. සියයට පනහකින් ටිකට් එක වැඩි කළොත් ප්‍රේක්ෂකයෝ ක්‍රීඩාවෙන් ඈත් වෙනවා. ඉස්සරහට ක්‍රිකට් බලන්න වෙන්නේ අතේ සල්ලි තියෙන අයට විතරයි. පරිපාලනයේ තීන්දුවක් අනුව ටිකට් එකේ ගාණ වෙනස් කරන්න පුළුවන්. හැබැයි ගාණ වැඩිකරලා ප්‍රේක්ෂකයෝ අඩු කරනවානම් එතැන ප්‍රශ්නයක් තියෙනවා. ගයාශාන් විතානආරච්චි ඡායාරූප - ක්‍රිෂාන් කාරියවසම්
 

More News..