brand logo

ප්‍රතිපත්තියට වඩා ව්‍යාපාර බලවත් වූ බව අකිල කියයි

07 August 2020

එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය හා ප්‍රතිව්‍යුහගත කර නව ජවයකින් හා ශක්තියකින් ඉදිරියට යෑමට කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් නිකුත් කළ නිවේදනය පහත පරිදි වෙයි. 2020 පාර්ලිමේන්තු මැතිවරණය සාර්ථක අන්දමින් පැවැත්වීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂය සිය කෘතවේදීත්වය ජාතික මැතිවරණ කොමිසම වෙත පල කර සිටී.සාධාරණ සහ සාමකාමි අයුරින් මෙම මැතිවරණය පැවැත්වීම තහවුරු කරන ලද්දේ අපගේ ආණ්ඩුව විසින් හදුන්වා දුන් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනයයි.නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා කැප වූ රාජ්‍ය නිලධාරීන්ටත් ත්‍රිවිධ හමුදාවටත් ශ්‍රී ලංකා පොලීසියටත් එක්සත් ජාතික පක්ෂය සිය ස්තූතිය පළ කර සිටී. කොවිඩ් 19 වසංගතය මැතිවරණයට බලපෑ අතර එය අපගේ ආර්ථිකයද විනාශ කරන්නට දායක විය.දේශීය ආර්ථිකය පණ ගැන්වීමට සහ ශක්තිමත් කිරීමට මෙම මැතිවරණයේදී වැඩ පිළිවෙළක් ඉදිරිපත් කළේ එක්සත් ජාතික පක්ෂය පමණයි.මෙම අසීරු අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂය සමග තවදුරටත් රැදී සිටි සියලු ආදරණීය එක්සත් ජාතික පාක්ෂිකයන්ට එක්සත් ජාතික පක්ෂයේ ගෞරවණීය කෘතවේදීත්වය පල කරමු. මෙම මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අති විශාල ජන වරමක් ලබා දී ඇති අතර එක්සත් ජාතික පක්ෂය සිය පාලන කාලය තුළ රටටත් ජනතාවටත් දිගු කාලීන වශයෙන් බල පවත්නා බොහෝ දේ ඉටු කළද විශාල පරාජයක් ලබා ඇත.පක්ෂයක් ලෙස අප අභයන්තරයෙන් මෙන්ම බාහිරින් පැමිණි අභියෝග වලට මුහුණ දුන්නෙමු. මෙම මැතිවරණයේදී ප්‍රතිපත්ති මත පදනම් වූ දේශපාලන පක්ෂ අභිබවා යන්නට දේශපාලන ව්‍යාපාර සමත් වී ඇත.මේ නිසා ඉදිරියේ දී රටේ අවුල් සහගත දේශපාලන තත්වයක් ඇති වීමට ඉඩ තිබේ. මැතිවරණයේ ප්‍රථිපල සාමකාමීව බාර ගන්නා ලෙස සියලු ජනතාවගෙන් ඉල්ලා සිටිමු.මින් පෙර අවස්ථා වලදී ද කළ පරිදි එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය හා ප්‍රතිව්‍යුහගත කර නව ජවයකින් හා ශක්තියකින් ඉදිරියට යන්නට කටයුතු කරන්නෙමු.
 

More News..