brand logo

ප්‍රතිචක්‍රීයකරණයට පොලිතින් නෑ

19 September 2020

ඉවතලන පොලිතින් නොලැබීම හේතුවෙන් ප්‍රතිචක්‍රීයකරණ කටයුතු සිදු කරන කර්මාන්තශාලා 100කට වැඩි සංඛ්‍යාවක් වැසීයෑමේ තත්ත්වයක් උද්ගතව ඇතැයි පොලිතින් නිෂ්පාදකයින්ගේ සහ ප්‍රතිචක්‍රීය කරන්නන්ගේ සංගමයේ ලේකම් අනුර හේරත් පවසයි.

මෙරට දෛනිකව සිලි සිලි මලු ලක්ෂ දෙකක් සහ කෑම ඔතන කොළ (ලන්ච් ෂීට්) කෝටි එකහමාරක් පමණ භාවිතා කෙරේ.

පළාත් පාලන ආයතන ඇතුළු අංශ විසින් කොරෝනා සමයෙන් පසු පොලිතින්, ආහාර වෙන් නොකර ප්‍රතිචක්‍රීයකරණ කටයුතු සඳහා පොලිතින් සැපයීම නිසා ඒවා ප්‍රතිචක්‍රීයකරණ කටයුතු සඳහා භාවිතා කළ නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව ලේකම්වරයා කියයි.

බාල තත්ත්වයේ පොලිතින් නිෂ්පාදන වැටලීමට මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු නොකිරීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ නිසි ප්‍රමිතියෙන් තොර බාල තත්ත්වයේ පොලිතින් වෙළෙඳපොළේ වැඩි වශයෙන් අලෙවි කෙරෙන බවත්, මේ නිසා ප්‍රමිතියෙන් යුතු පොලිතින්වලට ඇති ඉල්ලුමද අඩු වී ඇතැයි ලේකම්වරයා සඳහන් කරයි.

වෙළෙඳපොළේ ඇත්තේ පොලිතින්වලින් නිෂ්පාදනය කරන ලද බාල තත්ත්වයේ නොදිරන කෑම ඔතන කොළ බවත් මේ නිසා පරිසරයට දැඩි හානියක් සිදු වන බවද පොලිතින් නිෂ්පාදකයින්ගේ සහ ප්‍රතිචක්‍රීයකරන්නන්ගේ සංගමය පවසයි.

දිරායන සිලිසිලි මලු සහ කෑම ඔතන කොළ සඳහා ඇති ඉල්ලුම අඩුවීම හේතුවෙන් ඒවා නිෂ්පාදනය කිරීම සඳහා මෙරටට ගෙන්වන ලද බඩ ඉරිඟු ආදිය අන්තර්ගත ස්වභාවික පොලිමර් කන්ටේනර් රථ කීපයක්ම පසුගිය කාලයේ දී දිරායෑමට ලක් වූ බවත්, මෙම කන්ටේනර් එකක් ඇමෙරිකානු ඩොලර් 930ක් පමණ වන බවද අනුර හේරත් පැවසුවේය.

බාල තත්ත්වයේ පොලිතින් භාවිතා නොකරන ලෙස ජනතාව දැනුවත් කිරීමේ ප්‍රචාරක කටයුතු සඳහා මධ්‍යම පරිසර අදිකාරිය රුපියල් ලක්ෂ ගණනක් වැය කළද අද වෙද්දී ඉන් කිසිදු ප්‍රයෝජනයක් නොමැති බවද ඔහු සඳහන් කළේය.

මේ පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහගෙන් කළ විමසීමේ දී කියා සිටියේ, මධ්‍යම පරිසර අධිකාරියට කඩා පනින හමුදාවක් නැතත්, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් සමග ගොස් තත්ත්වයෙන් බාල පොලිතින් විකුණන ස්ථාන වටලා ඔවුන්ට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කරන බවය. සාපේක්ෂව මෙම ක්‍රමය සාර්ථක නොමැති බවද සභාපතිවරයා කීවේය.

‘‘දැනට පවතින නීතියට අනුව නොවෙයි සිලි සිලි මලු, කෑම ඔතන කොළ ආදිය නිෂ්පාදනය කරන්නේ. ඒ නිසා කෑම ඔතන කොළ නිෂ්පාදනය තහනම් කරනවා ඇරෙන්න වෙන විකල්පයක් නෑ. ප්‍රතිචක්‍රීයකරණය කරන්න පුළුවන් කෑම ඔතන කොළයට උණුවෙන් බත් දැමූවිට එය උණුවෙනවා. බත් එකේ තෙතමනය පොලිතින් එකෙන් එළියට එනවා. ප්‍රතිචක්‍රීයකරණය කරන ස්ථානවලට නිසියාකාරව පොලිතින් නොලැබෙන බවට පැමිණිලි අපිට ලැබිලා නෑ’’ යැයි සභාපතිවරයා පැවැසුවේය.

  සාලිය කුමාර ගුණසේකර
 

More News..