brand logo

ප්‍රජාතන්ත්‍රවාදය Vs ප්‍රජාතන්ත්‍රවාදය

07 October 2019

ජනාධිපතිවරණයට ඇත්තේ තවත් දින 41කි. ඊයේ (06 වැනිදා) දහවල් ඇප තැන්පත් කිරීමේ කාලසීමාව අවසන් වන විට 41 දෙනකු මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් ඇප තැන්පත් කර තිබිණි. නාම යෝජනා භාරදීම සිදුවන්නේ අදය. ඇප තැන්පත් කළ සියලුදෙනා නාම යෝජනා භාර දෙනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර එසේ වුවහොත් මෙවර ජනාධිපතිවරණය වැඩිම අපේක්ෂකයන් පිරිසක් ඉදිරිපත් වූ ජනාධිපතිවරණය බවට පත්වනු ඇත. අප රටේ පමණක් නොව වැඩිම අපේක්ෂකයන් සංඛ්‍යාවක් ඉදිරිපත්වූ ලොව එකම ජනාධිපතිවරණය මෙය වන්නටද බැරි නැත. සිය ගණනක් ඇමැතිවරුන් නඩත්තු කරන රටක 41 දෙනකු ජනාධිපති සිහින දැකීමේ අරුමයක් නැතැයි කෙනෙකුට සිතෙන්නට බැරි නැත. ජනාධිපතිවරණයට 41 දෙනකු ඉදිරිපත්වීම දැනටමත් සමාජජාලවල විහිළුවක් බවට පත්ව තිබේ. එහෙත් අපට මේ කාරණය එලෙස විහිළුවට ගත නොහැක්කේ මේ තරම් අපේක්ෂකයන් පිරිසක් ඉදිරිපත්වීම අහම්බයක් නොවන බව පෙනී යන බැවිනි. එසේම මේ නිසා කෝටි ගණන් මහජන මුදල් අපතේ යන බැවිනි. මෙවර ජනාධිපතිවරණය සඳහා සැලසුම්ගත වියදම රුපියල් කෝටි 400ක් පමණ වේ. එහෙත් අපේක්ෂකයන් සංඛ්‍යාව ඉහළ යෑම නිසා අමතරව තවත් කෝටි 100ක පමණ මුදලක් අවශ්‍ය වනු ඇතැයි මැතිවරණ කොමිසම ප්‍රකාශ කොට තිබිණි. ජනාධිපතිවරණයේදී ජය ගන්නේ එක් අපේක්ෂකයෙකි. ඒ සඳහා තරගය ඇත්තේ මෙරට ප්‍රධාන දේශපාලන කඳවුරු දෙක අතරය. ඒ අනුව ජයග්‍රහණය පිළිබඳ විශ්වාසයකින්, ජයගැනීම අරමුණු කරගෙන ඉදිපත් වන්නේ මෙම දේශපාලන කඳවුරු දෙකේ අපේක්ෂකයන් දෙදෙනාය. මෙය ජනාධිපතිවරණයකට ඉදිරිපත්වීමට සූදානමින් සිටින අනෙක් අපේක්ෂකයන්ද ඉතා හොඳින් දන්නා කාරණයකි. ප්‍රධාන දේශපාලන කඳවුරු දෙකටම අයත් නොවන කුඩා පක්ෂ ජනාධිපතිවරණයට තරග කරන්නේ ජයග්‍රහණය අපේක්ෂාවෙන් නොව - තම දේශපාලන මතවාදය ජනතාව අතර ව්‍යාප්ත කිරීමේ වේදිකාවක් වශයෙනි. අතීතයේදීත් එය එසේ සිදුවූ අතර එවැනි පක්ෂද ඇත්තේ එකක් දෙකකි. ඡන්ද කැඩීම සඳහා අපේක්ෂකයන් ඉදිරිපත් කිරීම මීට පෙර ජනාධිපතිවරණවලදීත් සිදුව තිබේ. එවැනි අපේක්ෂකයන් ඉදිරිපත් කරන්නේද ප්‍රධාන පක්ෂ විසිනි. එහෙත් මෙවර අති විශාල පිරිසක් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම හුදු අහම්බයක් හෝ ඡන්ද කැඩී​මේ ව්‍යාපාරයක් පමණක් ලෙස සැලකිය නොහැකි බව අපගේ හැඟීමයි. මෙවර ජනාධිපතිවරණ ක්‍රියාදාමය තුළ හැමවිටම අවිනිශ්චිත භාවයක් ඇති කර - ඡන්ද දායකයා අවුල් සහගත තත්ත්වයකට පත් කිරීමේ වැඩ පිළිවෙළක් ආරම්භයේ සිටම දැකගත හැකි විය. කිසිදු අපේක්ෂකයකුට මෙවර සියයට 50ක ඡන්ද ප්‍රතිශතයක් ගත නොහැකි වනු ඇතැයි මතයක් ප්‍රචාරය කෙරිණ. තවත් පැත්තකින් කියැවුණේ ජනාධිපතිවරණය නියමිත දිනට නොපැවැත්වෙනු ඇති බවය. එසේම කිසිදු අපේක්ෂකයකුට කැමැති නැති ඡන්ද දායකයාට ඒ බව සටහන් කිරීමට ඡන්ද පත්‍රිකාවේ ඉඩ තිබිය යුතුය යන කාරණයක් සාකච්ඡා කෙරිණ. අවසන් මොහොතේ ප්‍රධාන අපේකෂකයකුට එරෙහිව අධිකරණයට යෑම තුළද ඡන්ද දායකයා අවුල් සහගත කෙරිණ. මේවා සියල්ල කෙරෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් වුවත් ඒ හරහා අභියෝගයට ලක් වන්නේද ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම බව මේවා සැලසුම් කරන්නෝ නොදන්නවා විය නොහැකිය. විවිධ සංකල්ප ඉදිරිපත් කරමින් ජනමතය ව්‍යාකූල කිරීමේ අපේක්ෂාව ජනතාව කැමැති එහෙත් තමන් අකමැති අපේක්ෂකයාගේ ජයග්‍රහණය වැළැක්වීමද? එසේ සිදුවුවහොත් එය ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකිද? එතැන සැබෑ ජනතා පරමාධිපත්‍ය ප්‍රකාශ වී තිබෙනු ඇතිද? ජනාධිපතිවරණයකදී දෙවැනි හා තුන්වැනි මනාප සලකුණු කිරී‍මේ අවස්ථාව ජන්දදායකයාට ඇතත් මේ දක්වා පැවැති කිසිදු මැතිවරණයකදී එවැන්නක් සිදුව නැත. ජයග්‍රහණයම අරමුණු කරගෙන ඉදිරිපත් වන අපේක්ෂකයන් කිසිම විටෙක දෙවැනි තුන්වැනි මනාප සලකුණු කරන්නැයි ඡන්ද දායකයාගෙන් ඉල්ලා සිටිනු ඇතැයි අපේක්ෂා කළ හැකිද නොවේ. එසේ නම් මේ තරම් අවශේෂ අපේක්ෂකයන් සංඛ්‍යාවක් ජනාධිපතිවරණයට ඉදිරිපත් කෙරෙන්නේ ඒ සඳහාද? කෙසේ වෙතත් - විශාල අපේක්ෂකයන් පිරිසක් ඉදිරිපත් වී - හතර අතේ ඡන්ද කැඩීගොස් කිසිදු අපේක්ෂකයෙකුට දෙවැනි තුන්වැනි මනාපයෙන්ද සියයට 50ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට නොහැකි වුවහොත් ජනාධිපතිවරයා තෝරා ගැනීම සිදුවන්නේ කෙසේ දැයි මැතිවරණ පනතේද සඳහන් නොවේ. එවැනි අවස්ථාවක් උදා නොවනු ඇතැයි බලධාරීන් විශ්වාසය පළ කළද එසේ නොවන්නේ යැයි කිසිවකුට සහතික විය නොහැකිය. ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ යැයි කියමින් ගෙන ආ 19 වැනි සංශෝධනය නිසා රාජ්‍ය යාන්ත්‍රණය එකතැන පල්වෙන තත්ත්වයක් ඇතිව තිබෙන බව ඒ සංශෝධනය ගෙන ආ අයත් දැන් පිළිගෙන තිබේ. එසේ නම් මේ තරම් අපේක්ෂකයන් පිරිසක් ඉදිරිපත් වීම නිසා ජනාධිපතිවරණ ක්‍රියාවලිය තුළත් එවැනි අවුල් සහගත තත්ත්වයක් ඇති නොවනු ඇතැයි පුරෝකථනයක් දිය හැක්කේ කාටද? අවශ්‍ය සුදුසුකම් ඇති ඕනෑම අයෙකුට ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකිය. ඒ සුදුසුකම ඇති සංඛ්‍යාව අවම වශයෙන් රටේ ජනගහනයෙන් අඩකටත් වැඩි වනු මිස අඩු නොවේ. එසේ නම් සුදුසුකම් තිබූ පලියට ජනාධිපතිවරණයකදී ඒ අතරින් සියයක් දෙසීයක් තරග කරන්නට ඉදිරිපත් වුවහොත් තත්ත්වය කුමක් වනු ඇතිද? ප්‍රජාතන්ත්‍රවාදයේ ඇති අවස්ථා භාවිත කළ යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමටද එය දුර්වල කිරීමටද? ජනාධිපතිවරණය කවුරු ජය ගත්තද කවුරුන් පරාජය වුවද නිශ්චිතව ජනාධිපතිවරයකු පත්විය යුතුය. එහෙත් එවැනි පැහැදිලිතාවක් නොමැති ව්‍යාකූල තත්ත්වයක් රටතුළ ඇතිකිරීමට අවශ්‍යව ඇත්තේ කාටද?
 

More News..