brand logo

13 වැනි සංශෝධනය අද විහිළුවක් - මගේ ස්ථාවරය ඒකීය රටක් තුළ උපරිම බලය බෙදීමක්

10 September 2019

ප්‍රජාතන්ත්‍රවාදය නුහුරු අයට එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර අර්බුදයක් ඇති බව පෙනී ගිය ද පක්ෂය තුළ ඇත්තේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විවිධ මතවාදයන් පැවතීම ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂයක් බවත්, එවැනි මතවාදයන් මතු නොවන්නේ ඒකාධිපති පාලනයක් තුළ පමණක් බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි. අමාත්‍ය සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ යාපනය මුට්ට්‍රවේලි පිටියේ පැවැත්වෙන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයේ තුන් වැනි දිනය වූ අද (10) ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේ දී ය. මාධ්‍ය හමුව ප්‍රදර්ශන භූමියේ පිහිටි මාධ්‍ය මධ්‍යස්ථානයේ දී පැවැත්විණි. අමාත්‍යවරයා එහි දී මෙසේ ද පැවැසීය. ‘‘දෙමළ ජනතාවගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් බොහෝ දෙනා මේ ප්‍රදර්ශන භූමියට එන අතරතුරත් මගෙන් විවිධ ප්‍රශ්න ඇහුව. පිටරට ගිහින් එකක් කියල ලංකාවට ඇවිත් තව එකක් කියන ස්ථාවරයේ මම නැහැ. අපේ ඇතැම් නායකයො හිටියා ඉන්දියාවේදී 13 ප්ලස් කියල ලංකාවට ආවම 13 මයිනස් වෙනවා. මගේ ස්ථාවරය වන්නේ ඒකීය රටක් තුළ උපරිම බලය බෙදීමක් තුළින් මේ ප්‍රශ්නයට විසඳුම් ලබා දෙන්නයි. නමුත් මම එක දෙයක් කියන්න ඕනෙ. මේ ගැටලුවට විසඳුම් ලැබෙන්නේ දේශපාලන, ආර්ථික සහ සමාජීය බල ගැන්වීමකින් විතරයි. මේ රටේ කිසියම් ජාතියක කෙනෙකුට හිතෙනව නම් අපි දෙවැනි පන්තියේ මිනිස්සු කියල, අපි පහත් කියල ඒ තුළ අපි කියන විසඳුම් නිර්මාණය වෙන්නෙ නෑ. පළාත් සභා ක්‍රමය හඳුන්වා දුන්නේ මේ ගැටලුවට විසඳුමක් විදියට. නමුත් එය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වුණේ නෑ. නමුත් අද වෙලා තියෙන්නෙ 13 වැනි සංශෝධනය විහිළුවක් බවට පත්වෙලා තියෙන එකයි. අපි පළාත් සභා ක්‍රමය ශක්තිමත් කළ යුතුයි. 2015 බලයට පත් වෙද්දි, ජනාධිපතිවරණයේ දී අපි ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඉතා පැහැදිලිව තියෙනවා අපේ ස්ථාවරය. ඒ තමයි ඒකීය රටක් තුළ උපරිම බලය බෙදීමක්. අදටත් ඒ ස්ථාවරයේ වෙනසක් නෑ. ජනාධිපති ධුර අපේක්ෂකත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය තුළ අර්බුදයක් ඇති බව ඇතැම් පාර්ශ්වය හුවා දක්වන්නට උත්සහ කරනවා. ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදය කියන වචනය නුහුරු අයට මේ තත්ත්වය පක්ෂයේ අර්බුදයක් ලෙස දකින්න පුළුවන්. නමුත් ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ විවිධ මත පළ කිරීමට ඇති නිදහස. සමහර පක්ෂ තියෙනවා අභ්‍යන්තරයේ විවිධ මත නෑ. ඒ එවැනි මත ඉදිරිපත් වීම පාලනය කරල තියෙන නිසයි.‘‘ යැයි ද අමාත්‍යවරයා පැවැසීය.
 

More News..