brand logo

ප්‍රගීත් එක්නැලිගොඩ නඩුවේ චෝදනා පත්‍රය කියවයි

11 March 2020

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කළේ යැයි එල්ල කර තිබෙන චෝදනා වලට තමන් නිවැරදිකරුවන් බව එම චෝදනා එල්ල වී සිටින යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් නවදෙනකු අද(11) කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළහ. එම යුධ හමුදා බුද්ධි අංශ සාමාජිකයින් නව දෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව අද සම්පත් අභයකෝන්, සම්පත් විජයරත්න සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවන ලදී. එහිදී නීතිපතිවරයා විසින් ගොනු කරනු ලැබූ චෝදනා පත්‍රය විත්තිකරුවන්ට විවෘත අධිකරණය හමුවේ කියවා දෙනු ලැබීය. එම චෝදනා වලට තමන් නිවැරදිකරුවන් බව විත්තිකරුවන් සියලු දෙනා අධිකරණය හමුවේ ප්‍රකාශ කළහ. ඉන් අනතුරුව නඩුවේ පළමුවන සාක්ෂිකාරිය ලෙස නම්කර සිටි අතූරුදන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියගේ සාක්ෂිය සටහන් කර ගැනීමට නියමිතව තිබුණත් එය මෙහෙයවීමට නියමිත රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා හදිසි රාජකාරිමය කටයුත්තක් සඳහා ජනාධිපති පරීක්ෂණ කොමිසමක් හමුවට ගොස් සිටින බැවින් සාක්ෂි සටහන් කරගැනීම වෙනත් දිනයකට කල් දමන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එම ඉල්ලීම පිළිගත් ‍ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය ගේ සාක්ෂි සටහන් කර ගැනීම ලබන 16 වනදා තෙක් කල් දැමීමට තීන්දු කළහ. මෙම නඩුවේ 4 වන සාක්ෂිකරු ලෙස නම් කර සිටින සුගතපාල සුරේෂ් කුමාර් හෙවත් මුරලි නමැත්තා මේ වන විට අධිකරණය මගහැර විදේශයකට පලාගොස් ඇති බවට තොරතුරු ලැබී තිබෙන හෙයින් ඔහු යළි ශ්‍රී ලංකාවට පිටුවහල් කරනු ලැබූවොත් අත්අඩංගුවට ගැනීම පහසු කිරීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන්නැයි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එම ඉල්ලීම පිළිගත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අදාල සාක්ෂිකරු අත් අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා වරෙන්තුවක් නිකුත් කිරීමටද නියෝග කළහ. එම නඩුවේ විත්තිකරුවන් ලෙස ගිරිතලේ හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ෂම්මි කුමාරරත්න, ඩබ්ලිව්. ඩී. උපසේන (සුරේෂ්), ආර්. එම්. පී. කේ. රාජපක්ෂ (නාදන්), එස්.එම්. රවීන්ද්‍ර රූපසේන (රංජි) ,චමින්ද කුමාර අබේරත්න කනිෂ්ක ගුණරත්න, අයියාසාමි බාලසුබ්රමනියම්, තරංග ප්‍රසාද් ගමගේ සහ ටී.ඊ.ආර්. පීරිස් යන යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් නව දෙනෙකු නම් කර තිබේ.. 2010 වසරේ ජනවාරි මස මස 25 වනදා හෝ ඊට ආසන්න දිනයකදී ගිරිතලේ, හබරණ හා කොට්ටාව යන ප්‍රදේශවලදී විත්තිකරුවන් තවත් නම් නොදත් පිරිසක් සමග එක්ව රහසිගතව සිර කර තැබීමේ අරමුණෙන් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන යාම හා මරණය සිදු කිරීම යන චෝදනා සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කර තිබේ.   (අධිකරණ වාර්තාකරු )
 

More News..