brand logo

එක්නැලිගොඩ නඩුවේ සාක්ෂි විභාගය ලබන 20 වැනිදා සිට

13 February 2020

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කළේ යැයි චෝදනා කරමින් ගිරිතලේ මුදා කඳවුරේ හිටපු අණදෙන නිලධාරී ෂම්මි කුමාරරත්න ඇතුළු යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් නව දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය ලබන 20 වනදා සිට ආරම්භ කරන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් අද (13) නියෝග කළේය. මෙම නඩුව අද සම්පත් අභයකෝන්, සම්පත් විජයරත්න සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවන ලදී. එහිදී මෙම නඩුවේ සාක්ෂි වශයෙන් නම්කර තිබෙන දුරකතන ඇමතුම් දහයකට අදාළ පරිගණක පද්ධති පරික්ෂා කිරීම සඳහා විත්තියේ නීතිඥවරුන්ට අධිකරණය විසින් අවසර ලබා දුන්නේය. එම පරික්ෂා කිරීම සිදු කිරීමේ දී අදාළ සමාගම වල බුද්ධිමය දේපළ අයිතීන්ට අගතියක් නොවන පරිදි අදාල කටයුතු ඉටු කරන ලෙසද මෙහිදී විනිසුරුවරු විසින් විත්තිය නීතිඥවරුන්ට දැනුම් දෙන ලදී. ඉන් අනතුරුව අදාළ නඩුව ලබන 20 වන දා විභාගයට ගැනීමට ද අධිකරණය නියම කළේය. එම නඩුවේ විත්තිකරුවන් ලෙස ගිරිතලේ හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ෂම්මි කුමාරරත්න, ඩබ්ලිව්. ඩී. උපසේන (සුරේෂ්), ආර්. එම්. පී. කේ. රාජපක්ෂ (නාදන්), එස්.එම්. රවීන්ද්‍ර රූපසේන (රංජි) ,චමින්ද කුමාර අබේරත්න කනිෂ්ක ගුණරත්න, අයියාසාමි බාලසුබ්රමනියම්, තරංග ප්‍රසාද් ගමගේ සහ ටී.ඊ.ආර්. පීරිස් යන යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් නව දෙනෙකු නම් කර තිබේ.. 2010 වසරේ ජනවාරි මස මස 25 වනදා හෝ ඊට ආසන්න දිනයකදී ගිරිතලේ, හබරණ හා කොට්ටාව යන ප්‍රදේශවලදී විත්තිකරුවන් තවත් නම් නොදත් පිරිසක් සමග එක්ව රහසිගතව සිර කර තැබීමේ අරමුණෙන් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන යාම හා මරණය සිදු කිරීම යන චෝදනා සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කර තිබේ. මෙම නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් ජේෂ්ඨ රජයේ නීතිඥ වසන්ත පෙරේරා මහතා සමඟ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා මහතා පෙනී සිටියේය. විත්තිකරුවන් වෙනුවෙන් අනිල් සිල්වා, අනූජ ප්‍රේමරත්න යන ජනාධිපති නීතිඥවරු සමග නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියහ. (අධිකරණ වාර්තාකරු)
 

More News..