brand logo

ප්‍රකෝටිපතියා ඝාතනය කෝටි දෙකක කොන්ත්‍රාත්තුවක්

06 February 2020

කොල්ලුපිටියේ පිත්තල හන්දිය ආසන්නයේ පදිංචි ප්‍රකෝටිපති ඉඩම් හිමි වැවිලිකරුවකු රුපියල් කෝටි දෙකක කොන්ත්‍රාත්තුවකට ඝාතනය කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනයකදී අනාවරණය වී ඇත. මෙම ඝාතනයට සම්බන්ධ පිස්තෝලයක් සමග අත්අඩංගුවට ගත් හිටපු හමුදා සෙබළකු අද (6 වැනිදා) හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතය. අශෝක දසනායක නමැති ප්‍රකෝටිපති ව්‍යාපාරිකයාගේ නිවසට ඉකුත් 15 වැනිදා කඩා වැදුණු සන්නද්ධ කණ්ඩායමක් එම ව්‍යාපාරිකයා කපා කොටා වෙඩි තබා තිබුණේ එම නිවසේ මෙහෙකරුවන් එකළොස්දෙනෙකු පමණ සිටියදීය. පසුව රෝහල්ගත කළ ව්‍යාපාරිකයා ජනවාරි 19 වැනිදා මියගිය පසුව මෙම ඝාතනය ගැන විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඇත. ව්‍යාපාරිකයාගේ බිරිඳ හා දරුවන් රිය අනතුරකින් මියගොස් ඇති බවත් ඔහුට අයත් රට පුරා ඇති කෝටි ගණන් වටිනා ඉඩම්වලට හොර ඔප්පු හදා විකිණීමට සූදානම් වූ කල්ලියක් මෙම ඝාතනය සැලසුම් කර ඇති බවත් දැනට අනාවරණය වෙමින් ඇත. මෙම ව්‍යාපාරිකයාට කොළඹ ග්‍රෙගරි පාරේ පමණක් පර්චසයක් කෝටි දෙකකට වඩා වටිනා පර්චස් පනස් ගණනක ඉඩමක් ඇති බවත්, අත්තනගල්ල, මිරීගම, කොළඹ ඇතුළුව ඉඩම් රැසක හිමිකරුවකු බවත් හෙළි වී ඇත. මෙම ඝාතනය සැලසුම් කළ ප්‍රබලයන් මෙතෙක් කොටු​ වී නොමැත. තිස්ස රවීන්ද්‍ර පෙරේරා
 

More News..