brand logo

ප්‍රංශ රියැලිටියේ සිංහ නාද මවන හෙක්ටගේ දියණිය (වීඩියෝ)

19 October 2022

දෛවය කියන්නේ විටෙක හාස්කමක්.. පියා ලංකාවේ ටෙලි නාට්‍යයක රියැලිටි තරග විනිසුරුවෙක් ලෙස ප්‍රසිද්ධව සිටින සමයක දියණිය ප්‍රංශයේ ජාතික රූපවාහිනී නාළිකාවක රියැලිටි වැඩසටහනක ඉදිරියට යමින් සිටිනවා... කවුද මේ තාත්තයි දුවයි? තාත්තා තමයි ජනප්‍රිය ගායකයෙකු සහ නළුවෙකු වන හෙක්ටර් ඩයස්. ඔහුගේ දියණිය ඩියෝනා ඩයස් මේ දිනවල ප්‍රංශ රියැලිටි තරගයක ජනප්‍රිය තාරකව බවට පත්වෙලා. ශ්‍රී ලාංකික යුවතියකට විදේශයකදී ලැබුණු අපූරු අවස්ථාව ගැන කතා කරන්න ප්‍රංශයේ සිටින ඩියෝනා සමග සම්බන්ධ වුණා... ඔබ ගැන හැඳින්වීමක් කළොත්... මගේ නම ඩියෝනා ඩයස්. මට වයස අවුරුදු 15 යි. මගේ තාත්තා හෙක්ටර් ඩයස්, අම්මා පාඨලී ඩයස්. මම ඉපදුණේ ලංකාවේ, නමුත් මම ඉගෙන ගත්තෙ, හැදුණෙ වැඩුණෙ ප්‍රංශයේ. පුංචි කාලෙ ඉඳන්ම ගීත ගයන්න ආසයි. අපේ අම්මා කියන්නෙ මම කතා කරන්න ඉස්සෙල්ලා සින්දු කිව්වා කියලයි. ගුරුවරයෙකු යටතේ වොයිස් ට්‍රේනින් කළා. ප්‍රංශයේ ජාතික මට්ටමේ තරගයක් ජයග්‍රහණය කළා. ඒකෙදි මගේ හැකියාවන් දැකලයි ප්‍රංශයේ පැවැත්වෙන රියැලිටි වැඩසටහනට ඇරයුමක් ලැබුණේ. ඔබ තරග කරන රියැලිටි වැඩසටහන කුමක්ද? ‘ද වොයිස් කිඩ්ස් සීසන්-8 2022’ රියැලිටි වැඩසටහනට යුරෝපයේම තරගකරුවන්ට ඉදිරිපත් වෙන්න අවස්ථාව තියෙනවා. ආරම්භක අවස්ථාවේ තරගකරුවන් 90000 ක් විතර මෙම තරගයට ඉල්ලුම් කරලා තිබුණා. එයින් විනිශ්චය මණඩලය විසින් තරගය සඳහා තරගකරුවන් 90ක් තෝරගත්තා. ඒ අනූ දෙනා අතරට මාවත් තේරුණා. පහුගිය ඔක්තෝබර් 7 වැනිදා තමයි තරගයේ අවසන් වටය පැවැත්වුණේ. එම වටයේදී මාව ඉවත් වුණා. May be an image of 1 person and standing මේ වැඩසටහනේදී ඔබේ පියා ගැනත් සඳහන් කළාද... වැඩසටහනේ නිෂ්පාදකවරුන් තාත්තා ගැන සඳහනක් කළා විතරක් නෙවෙයි තාත්තා ගී ගයන රූප පෙළකුත් ඉදිරිපත් කරලා මාව තරගයට ඉදිරිපත් කරද්දී ලංකාවේ ජනප්‍රිය ගායකයෙකුගේ දියණියක් කියලා මාව හඳුන්වා දුන්නා. හැබැයි මම නම් ආස තාත්තගේ ජනප්‍රියත්වය දක්වල ඉදිරියට යන්න නෙවෙයි, මගේ හැකියාවන් පෙන්වලා ඉදිරියට යන්නයි. ඩියෝනා ශ්‍රී ලාංකික තරගකාරියක් බවද තරගයේදී සඳහන් වුණේ.. මටයි, අයියටයි, මල්ලිටයි ලංකාවේ වගේම ප්‍රංශයේත් පුරවැසිභාවය තියෙනවා. මම සෑම අවස්ථාවකම මගේ රට ගැන ලෝකයට කියන්න මේක අවස්ථාවක් කරගත්තා. තරගයට තෝරාගැනීමේ පළමුවැනි අවස්ථාවේ මම ගායනා කළේ ආචාර්ය අමරදේවයන් ගැයූ නිම් හිම් සෙව්වා ගීතය. හැම අවස්ථාවකම මම මගේ රට ශ්‍රී ලංකාව බවත්, මම මගේ රටට ගොඩක් ආදරය කරන බවත් ඒ රටේ ප්‍රෙක්ෂකයන් ඉදිරියේ ප්‍රකාශ කර සිටියා. ඔබ ලංකාවේදි තාත්තා සමග ප්‍රසංග වේදිකාවේ ගීත ගායනා කරනවාද? ඔව් තාත්තා ප්‍රසංගවලට සහභාගි වෙද්දි මාත් සමගත් ගී ගයනවා. යූටියුබ් එකේ තාත්තයි මමයි ගායනා කළ ගීත තියෙනවා. පුංචි කාලේ ඉඳලාම ගායනය සහ වේදිකාව මට හරිම හුරු පුරුදුයි. දැනට මගේම කියලා ගීත නම් නැහැ. මම ගායනා කරන්නේ කවර්ස් තමයි. May be an image of 1 person and outdoors ඩියෝනාට ප්‍රංශයේ ගායිකාවක් වෙන්න කිසිදු අවහිරයක් නැතිද? මම විදේශීය සම්භවයක් ඇති කෙනෙක් වුණාට මට මෙහේ ගායිකාවක් වෙන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. ලංකාවේ අක්කා කෙනෙක් ඉන්නවා නිලූෂි කියලා. එයා මේ රටේ සංගීතයෙන් ඉහළටම ගිය කෙනෙක්. එයා මෙහේ ගොඩක් ප්‍රසිද්ධයි. එයා මට ගොඩක් උදව් කළා. ඔබගේ සොහොයුරන් දෙදෙනාටත් සංගීත හැකියාව තියෙනවාද? මගේ අයියා වෙඩින් සංගීතයට ගොඩක් දක්ෂයි. එයා තාත්තා වගේම සැක්සෆෝන් වාදනය හදාරනවා. මල්ලි ඩෙලොන් ප්‍රෙන්ච් හෝර්න් කියන සංගීත භාණ්ඩය වාදනය පිළිබඳ හදාරනවා. අම්මයි, තාත්තයි අපේ හැකියාවන් ගැන ගොඩක් සතුටු වෙනවා. අපේ දක්ෂතා හඳුනාගෙන අපිට ඉදිරියට යන්න ගොඩක් උදව් කරනවා. ඩියෝනා අධ්‍යාපනය ලබන්නෙ.. මම දැන් උසස් පෙළ හදාරනවා. අපරාධ විද්‍යාව තමයි මම ඉගෙන ගන්නේ. No photo description available. ඔබට ලංකාව සමග තියෙන බැඳීම කොහොමද? අපි ප්‍රංශයේ ජීවත් වුණාට මමයි, අයියයි, මල්ලියි තුන්දෙනාම ඉපදුණේ ලංකාවේ. අම්මා පොඩි කාලේ ඉඳන් ප්‍රංශයේ ජීවත් වුණු කෙනෙක් නිසාත්, අපේ ආච්චි අම්මා ඉන්නේ ප්‍රංශයේ නිසාත් අපේ අම්මයි, තාත්තයි අපිව මෙහේ හදන්න තීරණය කරලා තියෙන්නේ. ලංකාවේ ජීවත් වෙන්නත් ගොඩක් ආසයි. ප්‍රංශ භාෂාව භාවිතා කළාට ගෙදරදී අපි සිංහල භාෂාවෙන් කතා කරන නිසා අපිට හොඳට සිංහල කතා කරන්නත් පුළුවන්. හැම අවුරුද්දකටම සැරයක් අපි ලංකාවට ඇවිත් යන්න එනවා. අපි තුන්දෙනාම ඒ කාලේ එනකම් ආසාවෙන් බලන් ඉන්නවා ධම්මිකා සුරංජි පතිරණ https://youtu.be/xEa6CbZBe0g https://youtu.be/0xbMPLfH39c
 

More News..