brand logo

පළාත් සභා ඡන්දය තියන්න බැහැ - නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි

24 August 2019

පළාත් සභා මැතිවරණ පැවැත්වීමේ හැකියාව පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කළ විමසීම ගැන තීන්දුවක් ගැනීම සඳහා පසුගිය 23 වැනිදා පැවැත්වූ විභාගය අවසන් කළ අගවිනිසුරු ඇතුළු පංච පුද්ගල විනිසුරු මඬුල්ල ඒ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය දරන මතය ජනාධිපතිවරයාට දන්වා යවන බව දැනුම් දුන්නේය. ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා තිබුණේ තමා යොමු කළ ප්‍රශ්නවලට දෙන පිළිතුරු එළඹෙන 30 වැනිදාට පෙර තමාට ලැබෙන්නට සලස්වන ලෙසයි. පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 23 වැනිදා මෙම විභාගය ආරම්භ වූ අවස්ථාවේ මැදහත් පාර්ශ්වකරුවන් ලෙස ඊට සහභාගි වූ දේශපාලන පක්ෂ සහ පුද්ගලයන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කළහ. ඔවුන් සියලු දෙනාම කියා සිටියේ සීමා නීර්ණ වාර්තාව පාර්ලිමේන්තුවේ අති බහුතරයකින් ප්‍රතික්ෂේප වී ඇති නිසා එම වාර්තාවේ දක්වා ඇති ආකාරයට පළාත් සභා මැතිවරණ පැවැත්වීමට නීතියෙන් අයිතියක් නැති බවයි. සීමා නීර්ණ වාර්තාව බලාත්මක වීමට නම් එය පාර්ලිමේන්තුවේ 2/3ක බහුතරයකින් සම්මත විය යුතු යැයි නීතිඥවරු කියා සිටියහ. ජනාධිපති මැතිවරණ හා පළාත් සභා මැතිවරණ එක විට පැවැත්වීමෙන් අවුල් සහගත තත්ත්වයක් රටේ ඇති විය හැකි බවත් එය ප්‍රායෝගික නොවන බවත් නීතිඥවරු වැඩිදුරටත් පැවසූහ. නීතිපතිවරයාගේ ස්ථාවරය වූයේත් සීමා නිීර්ණ කමිටුවේ වාර්තා බලාත්මක වී නැති නිසා පළාත් සභා මැතිවරණ දැන් පැවැත්වීමට හැකියාවක් නැති බවයි. ඒ අනුව පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ කරුණු දැක්වූ සියලු දෙනාගේම ස්ථාවරය වූයේ පළාත් සභා මැතිවරණ පැවැත්වීමේ හැකියාවක් තිබේදැයි ජනාධිපතිවරයා ඇසූ ප්‍රශ්නවලට දිය යුතු හොඳම පිළිතුර ‘‘හැකියාවක් නැත’‘ යන්න බවය. පසුගිය 23 වැනිදා විනිසුරු මඬුල්ල හමුවේ මුලින්ම කරුණු ඉදිරිපත් කළේ ඇල්ලේ ගුණවංශ හිමි වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජය ජයවර්ධනය. එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක හකීම් යන මන්ත්‍රීවරු පළාත් සභා මැතිවරණ පැවැත්වීමට විරුද්ධත්වය දක්වමින් පෙත්සම් ගොනු කර තිබිණි. අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රසන්න ජයවර්ධන, විජිත් කේ. මලල්ගොඩ යන පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ මෙම විභාගය පැවැත්විණි. අතිරේක සොලිස්ටර් ජනරාල් දේමනි ද සිල්වා මහත්මිය නීතිපති වෙනුවෙන් පෙනී සිටියාය. සරත් ධර්මසේන
 

More News..