brand logo

පළාත් සභාවල බදු වැඩි කිරීම අත්හිටුවන්න ජනපති නියෝග

20 February 2020

අමතර අයකිරීම් සහ වත්මන් බදු අනුපාත වැඩි කිරීම අත්හිටුවන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පළාත් සභා සහ පළාත් පාලන බලධාරීන්ට ඊ​යේ (19 වැනිදා) නියෝග කර ඇත. සමස්ත පළාත් පාලන අනුපාත සහ ගෙවීම් ව්‍යුහය විමර්ශනය කොට ඊයේ (19 වැනිදා) සිට දින 30ක් ඇතුළත එය සරල කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙනවා. ජනාධිපතිවරයාගේ නියෝග ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර විසින් සියලුම ආණ්ඩුකාරවරුන්ට සහ ප්‍රධාන ලේකම්වරුන්ට දැනුම් දී ඇත. රටේ සමස්ත බදු සහ බදු නොවන පද්ධති සරල කිරීමත්, ජන ජීවිතය පහසු කිරීම, ගනුදෙනු පිරිවැය අඩුකිරීම, දූෂණ සහ අක්‍රමිකතා පිටු දැකීම සහ කුඩා ආයතනවල සිට මහා පරිමාණ සමාගම් දක්වා ව්‍යාපාර සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කිරීම ඇතුළු අරමුණු ජයගැනීමත් ජනාධිපතිවරයාගේ අපේක්ෂාව වී තිබෙනවා. රජ​යේ සමස්ත සංවර්ධන දැක්ම සහ ඊට පාදක උපාය මාර්ග අඩාළ කරමින් පළාත් සභා සහ පළාත් පාලන ආයතන විවිධ බදු, අනුපාත සහ අයකිරීම් පුළුල් කරන බව පෙනී ගොස් ඇතැයි ජනපති ලේකම්වරයා දැනුම් දී ඇත. පළාත් සභා සහ පළාත් පාලන ආයතන විසින් පනවා ඇති බහු අනුපාත බදු සහ ගෙවීම් වෙනුවට ජන ජීවිතය පහසු කිරීමට සරල, පරදෘශ්‍ය හා දැරිය හැකි අයකිරීම් ව්‍යුහයක් හඳුන්වා දෙන ලෙසටද ආණ්ඩුකාරවරුන්ට දැනුම් දී තිබේ. විමධ්‍යගත පාලන ඒකකවල ආදායම් අවශ්‍යතා රජය පිළිගන්නා නමුත් මූල්‍ය විමධ්‍යගතකරණය සහ ආදායම් බෙදාගනීමේ ක්‍රමවේදය ජාතික ප්‍රතිපත්ති ව්‍යුහය සමග සමපාත විය යුතු බවද මෙහිදී පෙන්වා දී ඇත.
 

More News..