brand logo

පළාත් තුනක නියඟයෙන් ලක්ෂ 10කට පීඩා

10 September 2018

වර්ෂ තුනක සිට පවතින දැඩි නියඟය නිසා උතුර, උතුරු මැද හා නැගෙනහිර පළාත්වල පවුල් ලක්ෂ දෙකක සාමාජිකයින් ලක්ෂ දහයක් පමණ දැඩි පීඩාවට පත්ව ඔවුන්ගේ දෛනික ජන ජීවිතයට දැඩි බලපෑමක් එල්ල වී ඇත. නියඟයේ දැඩි බලපෑම එල්ලවී ඇත්තේ කිළිනොච්ච්ය, මඩකළපුව හා යාපනය යන දිස්ත්‍රික්කවලටය. දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන සඳහන් කළේ කිළිනොච්චිය දිස්ත්‍රික්කයේ කිළිනොච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයත්, යාපනයේ , චාවකච්චේරි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය‍ත්, මඩකලපුවේ මන්මුනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේත් වැසියන් දැඩි නියඟයට මුහුණ දී ඇති බවයි. ඇතැම් ප්‍රදේශවලට ජලසම්පත් මණ්ඩලය ලබා දෙන නළ ජලයද සීමා කර ඇති බැවින් පළාත් පාලන ආයතන සමග එක්ව බවුසර් මගින් පානීය ජලය බෙදාහැරීම ආරම්භ කර ඇති බව ජලසම්පත් මණ්ඩලයේ ප්‍රාදේශීය කාර්යාලවල නිලධාරීහු සඳහන් කළහ. එම ප්‍රදේශවල කුඩා වැව් සිඳී යාම නිසා ස්නාන කටයුතු සඳහා වැව් භාවිත කිරීමද ගැටලුවක් වී ඇති බව ප්‍රදේශවාසීහු පවසති. දැඩි අව්රශ්මිය හා අධික සුළං තත්ත්වය නිසා නියඟයේ බලපෑම වැඩි බවද ඔවුහු පවසති. මේ සම්බන්ධයෙන් ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ චමින්ද පතිරණ මහතාගෙන් ‘අරුණ’ කළ විමසීමේදී ඒ මහතා සඳහන් කළේ මේ වන විටත් නියඟයෙන් පීඩා විඳින දිස්ත්‍රික්ක 16ක ජනතාව  සඳහා රුපියල් මිලියන 57.85ක් මුදලක් පානීය ජලය ලබාදීම සඳහා ලබාදී ඇති බවයි. ඊට අවශ්‍ය ට්‍රැක්ටර් 360ක් සහ බවුසර් 38ක්ද ලබාදී තිබේ. අවශ්‍ය ජලය සොයා ගැනීම සඳහා සිඳී ගිය වැව් ආශ්‍රිතව වගා බිම් කැණීම සඳහාද රුපියල් මිලියන 200ක් වෙන් කර ඇති බවද ඒ මහතා සඳහන් කළේය. නියඟය නිසා ජීවන උපාය අහිමි වූ පවුල් සඳහා රුපියල් පන්දහසක මාසික ආධාරයක් ලබාදීම සඳහා වූ සංගණනයක් ආරම්භ කර ඇති බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. චමින්ද සේනාරත්න
 

More News..