brand logo

පළමු පෙළ කපා හරිමින් ක්‍රිකට් කොන්ත්‍රාත්තුව අලුත් වෙයි

22 October 2019

ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් ඉදිරි මාස 14ක කාලය සඳහා බල පවත්වන පරිදි ක්‍රිකට් ක්‍රීඩකයන් 34දෙනෙකු ඒ, බී, සී, ඩී සහ ප්‍රීමියර් යන කාණ්ඩ 5 යටතේ නව ක්‍රීඩක කොන්ත්‍රාන්තුවකට ඇතුළත් කර ඇත. මෙතෙක් ක්‍රියාත්මක වූ 2018/19 ක්‍රීඩක කොන්ත්‍රාත්තුවට ක්‍රීඩකයන් 33 දෙනෙකු ඇතුළත්ව සිටියද ඉන් 8 දෙනෙකු නව ක්‍රීඩක කොන්ත්‍රාත්තුවෙන් ඉවත්කර, ඒ වෙනුවට නව ක්‍රීඩකයන් 9 දෙනෙකු ඇතුළත් කර තිබීම මෙහිදී කැපී පෙනෙයි. වැඩිම මුදලක් හිමිවන, ‘ඒ’ කාණ්ඩය යටතේ මීට පෙර ක්‍රීඩකයන් 5 දෙනකු සිටි අතර මෙවරද එය සංඛ්‍යාත්මකව අඩුවී නොමැත. පසුගිය වසරේ මෙම කාණ්ඩයේ සිටි රංගන හේරත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් අතර, ඔහු වෙනුවට ඉකුත් වසරේ මෙම කොන්ත්‍රාත්තුවට ඇතුළත්ව නොසිටි වත්මන් පන්දුවාර විස්සයි විස්ස නායක ලසිත් මාලිංගව ඇතුළත් කර ඇත. එම කාණ්ඩයේ සෙසු ක්‍රීඩකයන් වන්නේ ඇන්ජලෝ මැතිව්ස්, දිමුත් කරුණාරත්න, සුරංග ලක්මාල් හා දිනේෂ් චන්දිමාල්ය. ඉන් ඇමරිකානු ඩොලර් 130,000ක් (ශ්‍රී ලංකා රුපියල් මිලියන 23.6ක් පමණ) වන වැඩිම මුදල හිමිවන්නේ ඇන්ජලෝ මැතිව්ස්ටය. එම කාණ්ඩයේ අවම මුදල වන ඇ.ඩොලර් 70,000ක් (ශ්‍රී ලංකා රුපියල් මිලියන 12.7ක් පමණ) හිමිවන්නේ ලසිත් මාලිංගටය. ‘බී’ කාණ්ඩය යටතේ මීට පෙර ක්‍රීඩකයන් දෙදෙනෙකු සිටි අතර, මෙවර එය 5 දක්වා වැඩිවී ඇත. මීට පෙර එහි සිටි උපුල් තරංගව මෙවර ඉන් ඉවත්වද්දී එහි සිටි අනෙක් ක්‍රීඩකයා වූ දිල්රුවන් පෙරේරා සමග ගියවර ‘සී’ කාණ්ඩයේ සිටි කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල හා ධනංජය ද සිල්වා ‘බී’ කාණ්ඩයට උසස් වීම් ලබා තිබේ. මෙම කාණ්ඩයේ ක්‍රීඩකයන්ට ඇ.ඩොලර් 50,000ත් (ශ්‍රී ලංකා රුපියල් මිලියන 9.1ක් පමණ) ඇ.ඩොලර් 70,000ත් (ශ්‍රී ලංකා රුපියල් මිලියන 12.7ක් පමණ) අතර මුදලක් හිමිවනු ඇත. මීට පෙර ‘සී’ කාණ්ඩය යටතේ ක්‍රීඩකයන් 5 දෙනෙකු ගිවිසුම්ගතව සිටියද මෙවර එය 3 දක්වා අඩුවී ඇත. තිසර පෙරේරා පමණක් තවමත් එම කාණ්ඩයේ රඳවා ඇති අතර, ඊට අමතරව මීට පෙර ඩී කාණ්ඩයේ සිටි නුවන් ප්‍රදීප් සහ ප්‍රිමියර් කාණ්ඩයේ සිටි ළහිරු තිරිමාන්නව මෙම කාණ්ඩයට උසස් කර ඇත. මෙම කාණ්ඩයේ ක්‍රීඩකයන්ගේ ගිවිසුම්ගත මුදල් ප්‍රමාණය වන්නේ ඇ.ඩොලර් 35,000ත් (ශ්‍රී ලංකා රුපියල් මිලියන 6.4ක් පමණ), ඇ.ඩොලර් 50,000ත් (ශ්‍රී ලංකා රුපියල් මිලියන 9.1ක් පමණ) අතර ප්‍රමාණයකි. ඇ.ඩොලර් 30,000ත් (ශ්‍රී ලංකා රුපියල් මිලියන 5.5ක් පමණ), ඇ.ඩොලර් 35,000ත් (ශ්‍රී ලංකා රුපියල් මිලියන 6.4ක් පමණ) මුදලකට ගිවිසුම්ගත ‘ඩී’ කාණ්ඩයට මෙවර ක්‍රීඩකයන් 10දෙනෙකු ඇතුළත්ව සිටින අතර මීට පෙර ඊට ඇතුළත්ව සිටියේ ක්‍රීඩකයන් 5 දෙනෙකු පමණි. අකිල ධනංජය, ධනුෂ්ක ගුණතිලක හා දුෂ්මන්ත චමීර මීට පෙර එම කාණ්ඩයේම සිටි අතර, ප්‍රිමියර් කාණ්ඩයේ සිටි ලක්ෂාන් සඳකැන්, ඉසුරු උදාන, ළහිරු කුමාර, දසුන් ශානක, රොෂේන් සිල්වා හා විශ්ව ප්‍රනාන්දු මෙම කාණ්ඩයට උසස් කර ඇත. ඊට අමතරව මෙම ලැයිස්තුවට ඇතුළත්ව නොසිටි අවිශ්ක ප්‍රනාන්දුට ද එහි ඉඩකඩ වෙන්ව ඇත. අවසන් කාණ්ඩය වන ප්‍රිමියර් කාණ්ඩයේ ක්‍රීඩකයන්ට ඇ.ඩොලර් 15,000ත් (ශ්‍රී ලංකා රුපියල් මිලියන 2.8ක් පමණ) ඇ.ඩොලර් 25,000ත් (ශ්‍රී ලංකා රුපියල් මිලියන 4.6ක් පමණ) අතර මුදලක් හිමිවේ. එම කාණ්ඩයට මීට පෙර ක්‍රීඩකයන් 16 දෙනෙක් ඇතුළත්ව සිටියද මෙවර එය 11 දක්වා අඩුවී ඇත. මීට පෙර මෙහි සිටි වනිඳු හසරංග, සදීර සමරවික්‍රම, අමිල අපෝන්සු සහ ජෙෆ්රි වැන්ඩසේට එම අවස්ථාව මෙවරද හිමිව ඇති අතර, මෙතෙක් මෙම ගිවිසුමට ඇතුළත්ව නොසිටි ඕෂධ ප්‍රනාන්දු, ශෙහාන් ජයසූරිය, ඇන්ජලෝ පෙරේරා, කසුන් රාජිත, ලසිත් ඇඹුල්දෙණිය, අසිත ප්‍රනාන්දු සහ චාමික කරුණාරත්න ද නව ගිවිසුමට ඇතුළත්ව තිබීම විශේෂත්වයකි. ඒ අනුව පසුගිය වසරේ මෙම කොන්ත්‍රාත්තුවට හිමිකම් කීවද, මෙවර එම ලැයිස්තුවට ඇතුළත් නොවූ ක්‍රීඩකයන් වන්නේ උපුල් තරංග, අසේල ගුණරත්න, ශෙහාන් මදුසංඛ, මලින්ද පුෂ්පකුමාර, භානුක රාජපක්ෂ, පැතුම් නිශ්ශංක, කමිඳු මෙන්ඩිස් හා අශාන් ප්‍රියන්ජන්ය. මෙම ගිවිසුම්ගත ක්‍රීඩකයන් අතුරින් ඩී කාණ්ඩය යටතේ ක්‍රීඩකයෙකුට හිමිවන ඉහළම මුදල වන ඇ.ඩොලර් 50,000ක (ශ්‍රී ලංකා රුපියල් මිලියන 9.1ක පමණ) මුදලකට හිමිකම් කියනු ලබන අකිල ධනංජයට අන්තර්ජාතික ක්‍රිකට් ආයතනය විසින් මාස 12ක කාලයකට අන්තර්ජාතික ක්‍රිකට් තරග තහනමක් පනවා ඇති බැවින් ගිවිසුම්ගත කාලයෙන් ක්‍රීඩා කිරීම සඳහා ඔහුට ඉතිරිවන්නේ ඉතාම සුළු කාලයක් පමණි. මීට පෙර මෙම ගිවිසුමට පළමු පෙළ ක්‍රීඩා කරන ක්‍රීඩකයන් 104 දෙනෙකු ඇතුළත් කර තිබූ අතර, මෙවර පළමු පෙළ සමග අදාළ ගිවිසුම ඉවත් කර ඇත. එනමුත් පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරනු ලබන ක්‍රීඩා සමාජ 25කට ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් යම් මුදල් ප්‍රමාණයක් ගෙවීමට නියමිතය. තවද පසුගිය වසරේදී පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ගෙවනු ලැබූ රුපියල් 7,500 තරග ගාස්තුව මෙවර 12,000 දක්වා වැඩිකිරීමටද යෝජනා කර ඇති බවද වාර්තා වෙයි. සචිත් යාපා
 

More News..