brand logo

පළමු ටෙස්ට් තරගයේ ජය එංගලන්තයට

09 November 2018

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති පළමු ටෙස්ට් තරගය ලකුණු 211කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම අද සමත් වුණා. මෙම තරගයේ කාසියේ වාසිය දිනාගෙන මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පළමු ඉනිම සදහා සියලුදෙනා දැවී ලකුණු 342ක් රැස්කර ගත්තා. එංගලන්ත පළමු ඉනිම සදහා බෙන් ලකුණු 107ක් රැස්කර ගැනීමට සමත් වුණා. පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් දිල්රුවන් පෙරේරා කඩුළු 5ක් දවාගත්තා. ඊට අමතරව සුරංග ලක්මාල් කඩුළු 3ක් සහ රංගන හේරත්, අකිල ධනංජය එක් කඩුල් බැගින් දවා ගැනීමට සමත් වුණා. අනතුරුව පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කිරීම සදහා පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 203ක් පමණයි. එහදී ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 52ක් ලබාගත්තා. එංගලන්තය වෙනුවෙන් පන්දු යැවූ මොයින් අලී කඩුළු 4ක් දවාගැනීමට සමත් වුණා. අනතුරුව දෙවැනි ඉනිම සදහා පන්දුවට පහරදීමට පිටියට පැමිණි එංගලන්ත කණ්ඩායමේ පිතිකරුවන් කඩුළු 6ක් දැවී ලකුණු 322ක් ලබාගෙන සිටියදී පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා. ලකුණු 462ක අභියෝගයක් භාරගනිමින් පිටියට පැමිණි ශ්‍රී ලංකා පිතිකරුවන්ට පිළිතුරු දෙවැනි ඉනිම සදහා සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 250ක් පමණයි. ඒ අනුව ටෙස්ට් තරග 3කින් සමන්විත මෙම තරගාවලිය තරග 1ට 0ක් ලෙස ජයගෙන ඉදිරියෙන් සිටීමට එංගලන්ත කණ්ඩායම මේ වන විට සමත්ව තිබෙනවා.
 

More News..