brand logo

පළතුරු වවන්න පවුල් 2000කට මිලියන 700ක්

11 December 2020

අපනයන වෙළදපොළ ඉලක්කකොට ගෙන පළතුරු වැවීම සදහා මහනුවර දිස්ත්‍රික්කයේ ආසන 4ක දිළිදු ගොවි ජනතාවගේ ආර්ථිකය නගා සිටුවීමේ අරමුණින් පවුල් 2000ක් සදහා රුපියල් මිලියන 700ක් ලබාදීමට රජය තීරණය කර තිබේ. ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක නව්‍යකරණ ව්‍යාපෘතිය ඔස්සේ මෙම ආධාර ලබාදීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යංශ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි. ඒ අනුව එක් පවුලකට රුපියල් ලක්ෂ 05 බැගින් වන පරිදි මෙම ආධාර ලබාදීමට නියමිතයි. ඵලදායිතාවයෙන් ඉහළ සහ විදේශ වෙළදපළ ඉල්ලුමට සරිලන නිෂ්පාදනයක් ලබාදෙන පැළ, ජල බිංදු තාක්ෂණය, උසස් ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදනයට අවැසි තාක්ෂණික දැනුම හා අවබෝධය ද ගොවියාට ලබාදීම මෙමගින් සිදුකිරීමට නියමිතව තිබේ. එම අස්වැන්න විදේශ වෙළදපළට සුදුසු ආකාරයට අගයදාමය උදෙසා සියලු අංගයන්ගෙන් සමන්විත සැකසුම් මධ්‍යස්තාන 4ක් ද මේ යටතේ එම ආසන සදහා ලබාදෙනු ඇත. කෙසේල්, පේර, අන්නාසි සහ අලිගැටපේර යන පළතුරු මෙම ව්‍යාපෘතිය යටතේ අපනයන ඉලක්ක කොටගෙන වගා කරනු ඇත. තවද මෙම ව්‍යාපෘතිය ලංකාවේ තවත් දිස්ත්‍රික්ක 12ක් ආවරණය කිරීමට නියමිතව තිබේ. ඒ යටතේ දිස්ත්‍රික්ක 05ක වැඩ මේ වන විට ආරම්භ කර ඇති අතර, එහි පළමු පළතුරු කන්ටේනරය ලබන වසරේ පළමු කාර්තුවේදී අපනයනයට සියලු කටයුතු සූදානම් වෙමින් තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යංශ්‍ය සදහන් කරයි.
 

More News..