brand logo

පස් මසක කොරෝනා තහංචියෙන් පසු ටෙස්ට් පිටිය සක්‍රිය වෙයි

08 July 2020

සත්කාරක එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය අද (8 වැනිදා) සදම්ප්ටන්හිදී ආරම්භ වේ. එංගලන්තයේ සෞඛ්‍ය විධිවිධාන වලට යටත්ව ප්‍රේක්ෂකයන්ගේ සහභාගිත්වයෙන් තොරව පැවැත්වෙන මෙම තරගාවලිය කොරෝනා වයිරස තත්ත්වයෙන් පසුව ලොව පැවැත්වෙන පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය වේ. මෙසේ ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් පැවැත්වෙන්නේ මාස පහකට පසුව වන අතර අවසන් වරට පෙබරවාරි 29 වැනිදා නවසීලන්තයේ සත්කාරකත්වයෙන් ඉන්දියාව සමග ටෙස්ට් තරගයක් පවත්වා ඇත. අද ආරම්භ වන ටෙස්ට් තරග තුනකින් සමන්විත අදාළ තරගාවලියේ දෙවැනි තරගය 16 වැනිදාත්, තුන්වැනි තරගය 24 වැනිදාත් පැවැත්වෙන අතර එම තරග දෙකම මැන්චෙස්ටර්හිදී පැවැත්වේ. එංගලන්තයේ නිත්‍ය නායක ජෝ රූට්ගේ දෙවැනි දරුවාගේ උපත හේතුවෙන් පළමු තරගයේ නායකත්වයෙන් ඉවත් වීමට ඔහු තීරණය කර තිබේ. ඒ හේතුවෙන් පළමු තරගයේදී එංගලන්ත කණ්ඩායමේ නායකත්වය දැරීමේ වගකීම තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස්ට හිමිව ඇත. ඇන්ඩෘ ෆ්ලින්ටොෆ්ගෙන් පසුව එංගලන්ත කණ්ඩායමක නායකත්වය දරන පළමු තුන් ඉරියව් ක්‍රීඩකයා ස්ටෝක්ස්වීම සුවිශේෂී කාරණයකි. කොදෙව් කණ්ඩායම ජේසන් හෝල්ඩර් විසින් මෙහෙයවනු ලබන අතර ඔවුන් තරගාවලියට පෙර එංගලන්තයේ නිරෝධායනය වෙමින් පුහුණුවීම් කටයුතු කරන ලදී. පෙබරවාරි මාසය වන විට පැවැති ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වලට අනුව එංගලන්තය සිව්වැනි ස්ථානයේත්, බටහිර ඉන්දීය කොදෙව් 8 වැනි ස්ථානයෙත් පසුවේ.
 

More News..