brand logo

පවුල නිසා සංවරයි නැත්නම් විනාශයි

20 March 2021

දසුන් පතිරණ එහෙම නැත්නම් හැමෝගෙම ආදරණීය දස්සා. දස්සා කියන්නේ හොඳම නළුවා සම්මානය සම්මාන උලෙළ කිහිපයකදීම දිනා ගත්තත් පොළොවේ පයගහලා ඉන්න තරුවක් නොවුණු දක්ෂයෙක්. ඒ වගේම කිව යුතුමයි සෙල්ලක්කාර විසේකාර හරිම නිදහස් සිතුම් පැතුම් තියෙන දරුවෝ දෙන්නෙක් ඉන්න තාත්තා කෙනෙක්. මේ ආදරණීය දස්සා අපිට මුණගැහුණා. දස්සා මොකද වෙන්නේ? දැන් ඉතින් මාරියා එක්ක තමා ජීවිතේ. මහේන්ද්‍ර, හේමාල්, අශාන්, දර්ශන්, ප්‍රියන්ත සිරිකුමාර සහ සුරන් එක්ක මුහුදු ගිහින් පවුල් කෑමක් තමා දැන් තියෙන්නේ. අරුණ ජයවර්ධනගේ සිනමා වෑයමක්. වෙනස් වැඩක්. මාරියා හි දස්සාගේ චරිතය මාලන්? ඔව්. මාලන් කියන්නේ මුහුදු යන එකෙක් නෙ​ෙවයි. ජීවිතේ පළවෙනි පාරට මුහුදු යන වෙනස් අරමුණු තියෙන කෙටියෙන්ම කියනවා නම් පිස්සු යකෙක්. එතැනින් එහාට කියන්න ගියොත් ආතල් එක නැති වෙයි. May be an image of 4 people, people sitting and outdoors දස්සාව ඉදිරියේ දකින්න ලැබෙන නිර්මාණ මොනවද? ආරියරත්න ඇතුගලගේ "සහෝ චිත්‍රපටය" සහ සුදේශ් වසන්ත පීරිස් මහතාගේ "සීරුවෙන්" කියන චිත්‍රපටයේ වැඩ කටයුතු අවසන් කරලා තියෙනවා. තව ගජමෑන් චිත්‍රපටයත් වෙනස් වැඩක්. හොඳම වෙලාවේදී ඒවා එළියට දායි. කොපි චිත්‍රපට ගැන අපි කතා කළොත්? මම වරදක් දකින්නේ නැහැ. යූ ටර්න්, ධර්ම යුද්ධය, ප්‍රවේගය සහ හුස්ම මේ කියන සියල්ල කොපි තමා. හැබැයි ඒවා සාර්ථක වුණානේ. කොපියක්ද නැද්ද කියන එක නෙවෙයි වැදගත් ලංකාවට කොහොමද ගළපා ගන්නේ කියන එක සහ කොපි කරන එක හරියට කරන්න ඕනේ. මම හිටිය හුස්ම ගැන කතා කළොත් වැඩිහිටියන්ට පමණයි වුණත් ඒ චිත්‍රපටය බලපු ගොඩක් අය හිටියා. චමත්කාර වුණත් ඇඳුම් ගැලෙව්වා කියලා කවුරුත් මුකුත් කිව්වේ නැහැ. අපේ සිංහල සිනමාවෙන් ප්‍රේක්ෂකයා ඈත් වුණාට දමිළ සහ මලයාලම් සිනමාව එක්ක ඉන්නවනේ? අපිට ළඟම සංස්කෘතිය තියෙන්නේ ඉන්දියාව එක්කනේ. ඉතින් ඒ සමීප බව දැනෙන්නේ නැත්නම් ඒක බොරුවක්. ඒ හැඟීම් පවා අපිට දැනෙන නිසා තමා අපේ මිනිස්සු මලයාලම් හින්දි සහ දමිළ චිත්‍රපටවලට ආදරය කරන්නේ. හැඟීම්වලට කතා කරන නිර්මාණ කරනවා නම් මම හිතනවා ඒ දේ සාර්ථකයි කියලා. ඇයි දස්සා හිතන විදියට අපිට එවැනි චිත්‍රපට කරන්න බැරි? එවැනි නිර්මාණ කරන්න අපේ රටේ දක්ෂයින් ඉන්නවා. නමුත් අපිට නැත්තේ ඉන්දියාවට වගේ සිනමා කර්මාන්තයක් විතරයි. ඉන්දියාවේ සිනමා කර්මාන්තය හරි ඉහළයි. මහේන්ද්‍රා අයියා දවසක් කිව්ව කතාවක් මම කියන්නම්. ඒ තමයි ලංකාවේ කලාකරුවෙක් වෙනවට වඩා හොඳයි ඉන්දියාවේ නලා කාරයෙක් වෙන එක. May be an image of 1 person දස්සා කියන්නෙම මලයාලම් සිනමාවට නෑකම් කියන කෙනෙක්? මගේ අම්මගේ සම්බවයක් කෙලින්ම තියෙනවා මලයාලම් එක්ක. මගේ සීයා කේරළ. ඒ නිසා මලයාලම් කියන්නේ මට ගොඩක් සමීපයි. මලයාලම් බස නම් බැහැ. දෙමළ නම් කතා කරන්න පුළුවන්. අපි මරදානේ ජීවත් වුණු නිසා. අපිව දැක්කමත් මලයාලම් ලුක් එකක් තියෙනවනේ කොහොමත්. දස්සට අදහසක් නැද්ද මලයාලම් සිනමාව එක්ක සම්බන්ධ වෙන්න? ලංකාවේ සිනමාව එක්ක සම්බන්ධ වෙන්නත් සෑහෙන කාලයක් ගියා. තව මට ලංකාවේ සිනමාව තුළ කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ මලයාලම් සිනමාව ගැන හිතනවට වඩා මට ඕනේ ලංකාව තුළ ලාංකීය ප්‍රේක්ෂකයාට තව තව දේවල් කරන්න. මලයාලම් චිත්‍රපට රැල්ලක් මේ වෙද්දී නිර්මාණය වෙලා තියෙනවා, ඒක දස්සා දකින්නේ කොහොමද? මලයාලම් චිත්‍රපට බලන්න ගත්තේ මෑතක. ඒ රැල්ල කලින් ලංකාව ඇතුළේ තිබ්බේ නැහැ. අපිට මලයාලම් සිනමාව ලංවෙන්නේ ඒ සංස්කෘතිය සහ ඒ හැඟීම් අපිට සමීප නිසා. දැන් වෙද්දී මලයාලම් චිත්‍රපට කියන එක මාර තැනකට ඇවිත් ඉන්නවා. ඒ තුළ තියෙන ඇක්ටින් වලට සංගීතයට ඒවා අධ්‍යක්ෂණය කරලා තියෙන ආකාරයට අපි පට්ට විදියට ආදරය කරනවා. ඒ අය හොඳ කලා කෘතියක් නිර්මාණය කරන නිසා තමා මේ වගේ රසිකත්වයක් ගොඩ නැගිලා තියෙන්නේ. ඔවුන්ට හොඳ දෙයක් ඉක්මනින් ග්‍රහණය කරගන්න පුළුවන්. වැඩියෙන්ම බලපු මලයාලම් සිනමාපටය මොකක් ද? Premam කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ තව Kumbalangi Nights වගේ චිත්‍රපට බොහොමයක් තියෙනවා ආසාවෙන් බලපු. ලංකාවේ චිත්‍රපටවලින්? මිල්ලේ සොයා තමයි. ඒකට සමාන කරන්න චිත්‍රපටයක් නැහැ මට. මම මේ වෙද්දී මිල්ලේ සොයා 35 වතාවකට වඩා බලලා තියෙනවා. ඒක මට තව බලන්න පුළුවන්. මිල්ලේ සොයා නිසා තමා මට නළුවෙක් වෙන්න ඕනේ කියලා ආස හිතුණේ. මිල්ලේ සොයා ආයෙම කළොත් ආස චරිතය? බූඩීම කියලා තියෙන්නේ මහේන්ද්‍ර අයියාගේ චරිතයට මාව තමා ගන්නේ කියලා. හැබැයි ඒක ආයේ කරන්න දෙයක් ඉතුරු කරලා නැහැ. මහේන්ද්‍ර අයියා ඒ චරිතය හරිවිදියට ඉවර කරලා තියෙන්නේ. දස්සාට චරිත නිරූපණය කරද්දී සීමා නැහැනේ, හැබැයි තෝරා ගැනීම්වල සීමා ඇති... චරිත නිරූපණයට සීමා නැහැ. චරිත තෝරා ගැනීම් වලට සීමා තියෙනවා. ඒ සීමාව තමා ඒ චරිතය දැනෙන එක. මෑතක චරිත කිහිපයක්ම ප්‍රතික්ෂේප කරන්න සිද්ධ වුණා සෙට් නොවුණු නිසා. පිටපත සෙට් වුණොත් විතරයි මම කරන්නේ. මම කොතැනකවත් කියන්නේ නැහැ මම මාර නළුවෙක් කියලා. එහෙම නළුවෝ තමා මහේන්ද්‍ර පෙරේරා කියන්නේ. අපිට ඒ ළඟටවත් යන්න බෑ. අපි තාම පඩිපෙළ නගින ගමන් ඉන්නේ. වෘත්තීයමය රංගන ශිල්පියෙක් හැටියට පවතින්න පුළුවන් ද? කොහොමද පවතින්නේ කියන එක තමන් දැන ගන්න ඕනේ. දැන් මේ මම මෙගා නාට්‍ය වලට යන්නෙත් නැහැ. සමහර වසරවල නිර්මාණ දෙකයි කරලා තියෙන්නේ. ඒත් මම පැවතිලා ඉන්නවනේ. පොඩි කාලේ ඉඳන්ම දන්න නොදන්න හැමෝම කිව්වේ නළුවෙක් වෙලා වැඩක් නැහැ. රස්සාවක් කරන්න කියන එක. හොඳ වෙලාවට නළුවෙක් වෙලා ජනප්‍රිය වෙලා සම්මානයක් එහෙම ලැබිලා තියෙන නිසා ශේප් වෙලා ඉන්නවා. මම කවදාවත් කියන්නේ නැහැ කට්ට කාලා මෙතනට ආවේ කියන එක. මම කට්ට කාලා නැහැ. මම අතේ සල්ලි නැතිව පයින් ගියත් ඒක මම දකින්නේ කට්ට කියන එකට වඩා අත්දැකීම් කියන තැනින්. මම අත්දැකීම් එක්ක මේ ගමන යන්නේ. පෙට්ටි කඩයකින් කාලා අදටත් පයින් වුණත් ගිහින් ජීවිතේ විඳින සහ විඳින්න කැමති කෙනෙක්. ඒ නිසා මට පවතින එක ගැටලුවක් වෙලා නැහැ. May be an image of 1 person and smiling සමාජය තුළ හමුවුණු කරන්න ආස හිතෙන චරිත තියෙනවා ද? එහෙම නැහැ. මම චරිත ඔළුවේ තියාගෙන නැහැ. හොඳම උදාහරණය විසාකේසා චන්ද්‍රසේකරම්ගේ සයපෙති කුසුම. ඒ තුල තියෙන්නේ සමකාමී ආදරයක්නේ. ඒ චරිතය මම පැනලා භාරගත්තේ. පිටපත බලලා ඒ චරිතය ගැන අවබෝධයක් ගන්න පුළුවන් නම් හිඟන්නෙක්ගේ චරිතයක් වුණත් මම කරනවා. ලංකාව තුළ වැඩ කරන්න කැමතිම සහ දස්සට පහසුම අධ්‍යක්ෂවරයා කවුද? බූඩී කිර්තිසේන. මම අනෙක් අය සමග වැඩ කරන්න අපහසු කියනවා නෙවෙයි. නමුත් මට බූඩී ගැන එයාගේ වැඩ ගැන සහ එයාගේ ස්ටයිල් එක ගැන ආදරයක් තියෙනවා. දස්සට හරියට යාළුවො ඉන්නවා නේද? 2004දී මම කලාවට ආවත් එක්කම මගේ යාළුවො වෙන්නේ කලාවේදී මුණගැහුණු අය. මහේන්ද්‍ර අයියා, රොෂාන් රවින්ද්‍ර, අමල් පෙරේරා, ධනුක දිල්ෂාන්, අංජන ප්‍රේමරත්න, ප්‍රියන්ත සිරිකුමාර වගේ අය එක පවුලේ වගේ ඉන්න අය. ඔක්කොම වැඩ කරන්නේ ඒ අය එක්ක තමා. ඒ නිසා කිසිම රහසක් නැහැ ඔක්කොම වැඩ ගැන ඒ අය දන්නවා. සිනමාවට ද වැඩි ඉඩක් වෙන් කරන්නේ? එහෙම නැහැ. මෙගා නොවන නාට්‍ය නිර්මාණවලට මම දායක වෙනවා. එවැනි සාර්ථක නාට්‍ය නිර්මාණ කිහිපයකට දායක වෙන්නත් මට වාසනාව ලැබුණා. සුපුන් රත්නායක අධ්‍යක්ෂණය කළ අඩෝ නාට්‍යය වෙනුවෙන් මේ සැරෙත් හොඳම නළුවාට මාව නිර්දේශ වෙලා තියෙනවා. පුංචි තිරයේ ඔබට හමු වූ හොඳම අධ්‍යක්ෂවරයා කවුද? ලලිත් රත්නායක සහ සුපුන් රත්නායක. ලලිත් රත්නායකගේ තාත්තා නාට්‍යය නිසා තමයි මම අද ළමයි හදාගෙන ඉන්නේ. නළුවෙක් නම් ලලිත් රත්නායක කියන අධ්‍යක්ෂවරයා හමුවිය යුතුමයි කියලා මම හිතනවා. සුපුන් කියන්නේ මගේ ළඟ සගයෙක්. ඒ නිසා ඔහු එක්ක මට ඕනේ දෙයක් කතා කර ගන්න පුළුවන්. නළුවෙක් නොවුණා නම් කවුරු වෙයිද? මම නළුවෙක් වීම පිටුපස ඉන්න යෝධ හෙවනැල්ල මගේ තාත්තා. ඔහු තමා මාව තේරුම් ගත්තේ. තාත්තයි මමයි අදටත් ඉන්නේ යාළුවො වගේ. මට රස්සාවක් කරපන් හම්බ කරපන් කියලා බල කළේ නැහැ. ඒ හයිය තමා මාව මේ තරම් දුරක් අරන් ආවේ. නළුවෙක් නොවුණා නම් බීච් බෝයි කෙනෙක් හෝ රෙස්ටුරන්ට් එකක වැඩ කරයි. විසේකාර දස්සා මේ වෙද්දී දියණියන් දෙදෙනෙක්ගේ ආදරණීය පියෙක්, ඒ ගැනත් මතක් කරමු පවුල මට විශේෂයි. මේ වෙද්දී අපිට ඉන්නවා ශයියා සහ ශයිලි කියලා ලස්සන කෙල්ලෝ දෙන්නෙක්. පවුල නිසා තමා මම යම් විදියකට හරි සංවර වෙලා ඉන්නේ. නැත්නම් විනාසකාරී. තවමත් එහෙම තමයි නැතුවම නෙවෙයි. ඒ වුණාට පොඩ්ඩක් හරි වගකීමක් ගන්න පුළුවන් වුණා මගේ පවුල නිසා. විශේෂයෙන්ම මගේ බිරිඳ හංසිව මතක් කරන්න ඕනේ. ඉස්සර හිතුණා මම මගේ බිරිඳ එක්ක දිගටම ජීවත් වෙන්නේ නැති වෙයි කියලා. නමුත් කාලයත් එක්ක මට තේරුම් ගියා එයා තමා මට හම්බවුණු හොඳම කෙනා කියලා. මම දිගටම එයා එක්ක ඉන්නවා. මට වෙන කෙනෙක් ඕනේ නැහැ, කියන එක දැන් තීරණය කරලා ඉවරයි. May be an image of 3 people, child, people standing and christmas tree අනුෂා රණසිංහ
 

More News..