brand logo

පවුලම මරා අලුත් ගමනක් යන්න සිටි මධුර එල්ලුම්ගහට ගියේය

09 November 2019

දරුවන් නැතිකම නිසා දරුකමට හදාගන්නට ගත් දරුවා ටිකෙන් ටික අනාගතය දිනන හැටි බලමින් ගුරු මවක් වූ ඒ අම්මා බොහෝ සතුටු වූවාය. ඒ නිසාම මධුර මනුරංග වූ ඒ පුතු ශිෂ්‍යත්වය සමත් වීමෙන් පසු ඇය අම්බලංගොඩ අතහැර රත්මලානේ නිවසක් ගෙන පදිංචියට ද ආවාය. ඒ හේතුවෙන් මධුරට කොළඹ ජනප්‍රිය පාසලකින් ඉගෙනීමේ ඉතිරි කොටස සම්පූර්ණ කරගන්නට හැකි විය. අම්මාගේ කැප කිරීමට ණය ගෙවමින් මධුර හොඳින් උසස් පෙළ විභාගයද පාස් වුණේය. කාලය ගෙවුණේ ඈ වියපත් කරමින් ඒ පුතු ලොකු මිනිසෙකු කරමිනි. ඔහු හොඳ රැකියාවක් ලැබුවේය. එය ඇඟලුම් කම්හලක විධායක මට්ටමේ ලක්ෂ එකහමාරක පමණ වැටුපක් ලැබූ රැකියාවකි. මධුර විවාහ වූයේ තුන් වසරක ප්‍රේම සබඳතාවකින් පසුවය. ඒ 2006 වසරේදීය. අම්බලංගොඩ අකුරල තරුණියක වූ සචේතනා සඳමාලි ප්‍රනාන්දු පවුලේ එකම දැරිය විය. ඇය ගල්කිස්ස බෞද්ධ බාලිකා විද්‍යාලයෙන් ඉගෙනුම ලබා නාවල විවෘත විශ්ව විද්‍යාලයෙන් උපාධියක් ද සම්පූර්ණ කර සිටියාය. පාසල් ගුරුවරියක වූ සචේතනාට මුල්ම පත්වීම ලැබී තිබුණේ යටියන්තොට පාසලකටය. 2012 වසර වන විට ඇය මොරටුව වේල්ස් කුමරි විදුහලේ ප්‍රාථමික අංශයේ ඉංග්‍රීසි මාධ්‍ය ගණිත ගුරුවරිය වී සිටියාය. 2012 වසර වනවිට මධුරටත් සචේතනාටත් දරුවන් දෙදෙනෙක් වුහ. වැඩිමල් පුතු තුන් හැවිරිදි විජේමුනි කුෂාන් සඳරුවන් ද සිල්වාය. දෙවැනි පුතු මසක් වයසැති ඉෂාන් භානුක ද සිල්වාය. වැඩිමල් පුතු ලැබෙනතුරු ඔවුහු සමගියෙන් ජීවත් වූහ. දෙවැනි පුතු ලැබෙන විට ඔවුන්ගේ පවුල් ජීවිතයේ ආරවුල් ගැටුම් ඇතිවන්නට පටන්ගෙන තිබුණි. ඒ මධුරගේ චර්යාවේ තිබූ වැරදි නිසාය. මුදල් යහමින් අත ගැවසුණ ඔහු සම්බාහන මධ්‍යස්ථානවලට පවා යන එන්නෙක් වූ අතර තරුණියක සමග අනියම් සම්බන්ධතාවක් ද පවත්වා ඇත. මේ නිසාදෝ ඔහු සචේතනාටත්, අනියම් සම්බන්ධයක් ඇති බවට විටින් විට චෝදනා කර ඇති බව කියයි. මේ ආරවුල් හේතුවෙන් දෙවැනි පුතු ලැබෙද්දී ඔවුහු එකම නිවසේ මහල් දෙකෙහි විසූහ. මධුරගේ අම්මා සහ සේවිකාවක ද සචේතනා සිටි පහළ මාලයේ සිට ඇත. 2012 වසරේ දෙසැම්බර් මාසය වනවිට මධුරගේ හිතේ අම්මා, බිරිඳ හෝ දරුවන් ගැන කිසිදු හැඟීමක් තිබුණේ නැත. ඒ දිනවල ඔහු සිතේ සිටියේ රෙබෙකා පමණමය. රෙබෙකා මීගමුවේ ජාත්‍යන්තර පාසලක සිටි 21 හැවිරිදි ජපන් භාෂා ගුරුවරියක වූ තරුණියකි. මධුර හා ඇය හමු වී ඇත්තේ ප්‍රංශ පන්තියකට සහභාගි වූ අවස්ථාවේ බවට ඔහු කියා ඇත. ඊටත් පසුව ඇයගේ ෆේස්බුක් මිතුරකු වූ මධුර ඈ සමග තොරතුරු හුවමාරු කරගෙන තිබුණි. එහිදී ඔහු ඇයට කියා ඇත්තේ තමන් අවිවාහක තරුණයකු බවයි. ඔහු, ඔහුගේ ෆේස්බුක් ගිණුමේ ද සඳහන් කර ඇත්තේ අවිවාහක තරුණයකු බවයි. ඒ අයුරින් පෙම්වතුන් වූ මධුර, රෙබෙකාට කිසිම සැකයක් ඇති නොවන්නට හැම විටම හැසිරී තිබුණි. ෆේස්බුක් ගිණුමෙන් පෙම්වතුන් වූ පසුව ඔහු ඈ ගිය ප්‍රංශ භාෂා පුහුණු මධ්‍යස්ථානය ළඟට ගොස් වරින්වර රෙබෙකාව හමුවී ඇත. ඉන්පසු තමන්ගේ වාහනයේ නංවාගෙන ගමන් බිමන් ගොස් ඇත්තේ ද අවිවාහකයකු බවම පෙන්වමිනි. නිරන්තරවම දුරකථන හරහා කෙටි පණිවුඩ සහ ඇමතුම් හුවමාරු වී ඇති අතර මේ සියල්ල සිදු වී ඇත්තේ සචේතනාට දෙවැනි දරුවා ලැබෙන්නට සිටි කාලයේ ය. මධුර මේ තරුණියට විවාහ යෝජනාවක් ගෙන ඇති බව කියන්නේ සම්බන්ධතාව ඇති වී තුන් මාසයකට පමණ පසුවය. ඒ වන විට ඔහුගේ බිරිඳට දෙවැනි දරුවා ලැබෙන්නට දින නියම වී තිබුණි. ඇය අමතක කර ඔහු රෙබෙකා හා විවාහ වන්නට කළුතර ප්‍රදේශයෙන් නිවසක් කුලියට ගෙන තිබුණි. ව්‍යාජ මව්පිය යුවළක් ද සූදානම්කොටගෙන සිට ඇත. ඇගේ අතට මුදුවක් පවා පැලඳූ මධුරගේ එකම බලාපොරොත්තුව වී ඇත්තේ රෙබෙකා විවාහ කරගෙන විදේශයකට යාමය. ඒ බලාපොරොත්තුවෙන් ඔහු සති දෙකකට පෙර රැකියාවෙන් ද ඉවත් වී තිබුණි. රෙබෙකා විවාහ කරගන්නා බලාපොරොත්තුවෙන් සියල්ල එකින් එක සකසා ගන්නා අවස්ථාවේ විවාහයට ඇති ප්‍රධානම බාධකය වූ සචේතනා හා දරුවන්ගෙන් ඈත් වන්නේ කෙසේ ද කියා ඔහු කල්පනා කර ඇත. කෙසේ වෙතත් කාලය ගෙවී ඔවුන්ගේ ජීවිතවලට තීරණාත්මක දිනයක් උදා වී තිබුණේය. ඒ 2006 දෙසැම්බර් 17 වැනිදාය. එදා රාත්‍රියේ පුරුදු ලෙස සචේතනා හා දරුවන් පහත මහලේත්, මධුර උඩු මහලේත් නින්දට ගොස් තිබුණි. ඊට පසුදා දෙසැම්බර් 18 වැනිදා උදේ 6.30 ට පමණ මධුරගේ මව රූපවාහිනිය නැරඹීමට ගිය ගමන් ලේලිය හා දරුවන් බලන්නට කාමරය දෙසට ගොස් ඇත. ඔවුන් සිටි කාමරය දුමින් පිරී ඇති බව මුලින්ම දකින්නේ මධුරගේ අම්මාය. ඈ කෑගසා නිවසේ සිටි අය කැඳවූවාය. ඒ ඇසිල්ලේම අම්මාගේ හඬ ඇසී මධුර ද වහා පහත මහලට දිවවිත් ඒ කාමරයේ ගිනි නිවමින් බිරිඳ හා දරුවන් බේරා ගන්නට උත්සාහ දරා ඇත. ඒත් ඒ වන විටත් සචේතනා හා දරු දෙදෙනා අවසන් ගමන් ගොස් සිටියහ. සිද්ධිය ගැන පොලිස් පරීක්ෂණ ඇරඹුණේ ගල්කිස්ස පොලිසියෙනි. බැලූ බැල්මට ගින්නෙන් මරණ සිදු වී ඇති බව පෙනෙන්නට විය. ගින්න ඇති වී ඇත්තේ විදුලි කාන්දු වීමකින් බවට කතා ද නිර්මාණය විය. ඒත් ඒ සියලු කතා සහ පොලිස් පරීක්ෂණ වහා වෙනස් වූයේ අධිකරණ වෛද්‍ය නිලධාරිනිය පැමිණ කළ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුය. ඒ අනුව හෙළි වූයේ සචේතනා හා තුන්හැවිරිදි පුතු මියගොස් තිබුණේ ගෙල සිරකිරීමෙන් නිසාය. ඔවුන්ගේ ගෙල අවට හොඳින්ම ඒ සලකුණු දිස් වී තිබිණි. බාලම දරුවා මියගොස් තිබුණේ දුම ආඝ්‍රාණය වීමෙන් බව කියයි. බාල දරුවා මියයන විටත් මවගෙන් කිරි උරා බොමින් සිටි බව පෙනුණි. ඒ අනුව නිවැසියන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කෙරිණි. අවසානයේ සචේතනාගේ සැමියා මධුර මනුරංග පොලිස් අත්අඩංගුවට පත් වුණේය. පොලිස් පරීක්ෂණ සිදුවන අවස්ථාවේ සැකකරු නොදැන සිටි ඉතා වැදගත් රහසක් ඔහුගේ මව විසින් පොලිසියේ දී හෙළිකරනු ලැබුවාය. ඒ මේ සා ලොකුමහත් කර වෙනස්කමක් නොකර උගන්වා හැදූ මධුර තමන්ගේ දරුවකු නොවන බවත්, හදා ගන්නට ගත් දරුවකු බවත් ප්‍රකාශ කරමිනි. එ​තෙක් ඒ බව මධුර දැන සිටියේ ද නැත. එමෙන්ම මේ මරණවලට ඔහු වරදකරු නම් නිසි දඬුවම් දෙන ලෙසත් ඈ පොලිසියෙන් ඉල්ලා සිටියාය. එය අසා මධුර ඒ මොහොතේ සංවේදී වූ බව කියයි. පොලිස් අත්අඩංගුවේ සිටි මධුරගෙන් ප්‍රශ්න කිරීම් සහ කට උත්තර ගැණුනි. අවසානයේ ඔහු ගල්කිස්ස පොලිසිය ඉදිරියේ මේ මරණ සම්බන්ධයෙන් පාපොච්චාරණයක් කර තිබුණි. ඒ රෙබෙකා විවාහ කර ගැනීමට බිරිඳ හා දරු දෙදෙනා මරා දැමූ බව කියමිනි. ඒ අනුව එදා රාත්‍රියේ ඔහු බිරිඳ සහ දරුවන් නිදා සිටි කාමරයට ගොස් ඇත. වෙනදා සේම ආරවුලක් ඇති විය. ඒ මොහොතේ සැකකරු තමන්ගේ අනියම් සම්බන්ධය ගැන බිරිඳට කී බව කියයි. එය අසා ඒ ගැන තවදුරටත් වාද විවාද රණ්ඩු ඇවිලී ඇති අතර දැඩි කෝපයට පත් සැකකරු සචේතනාගේ ගෙල සිරකර මරා දමා ඇත. ඒ දුටු තුන් හැවිරිදි දරුවා, ‘‘ආචි... ආචි...’’ කියමින් කාමරයෙන් පලා යාමට උත්සාහ කොට ඇත. ඒත් යක්ෂයා ආරූඪ වී සිටි සැකකරු තුන් හැවිරිදි දරුවාද අල්ලා ගෙල සිරකර මරා දමා තිබුණි. අනතුරුව සිරුරු දෙක ඇඳට දමා කුඩාම දරුවා මවගෙන් කිරිඋරා බොන්නට ළඟින් තබා මදුරු දැලද ඇඳට දැමූ සැකකරු දැල මතට සුවඳ විලවුන් ඉස පෙට්ටියක් සහිත ඉටිපන්දමක් පත්තු කර ඇද මතින් තබා කාමරයේ දොරත් වසා උඩුමහලට ගොස් ඇති බව කියා ඇත. එසේ ගොස් කිසිවක් නොදන්නා සේ නින්දට වැටී තිබුණි. යළි ඔහු පහළට දිවවිත් ඇත්තේ මව දුම දැක කලබලයෙන් කෑ ගැසූ අවස්ථාවේය. මේ පාපොච්චාරණයට අනුව ත්‍රිත්ව මරණ සම්බන්ධයෙන් මධුර මනුරංග රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි. වසර කීපයකට පසුව ඔහු ඇප මත මුදා හැරිණි. ඒ වන විට ඔහු ගැන පුවත් සමාජයේ බොහෝ දෙනකුට අමතක වී තිබුණි. 2015 දී පමණ ඔහු නැවතත් පොලිස් අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාරගත වුණේය. ඒ දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි. 2012 වසරේ කාගෙත් හිත දුකක් තැබූ රටම කැලඹූ මේ ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් වූ නඩු විභාගය පුරා වසර හතරක් තිස්සේ අධිකරණයේ විභාග වුණේය. ඒ අනුව රත්මලාන ගොළුමඩම ප්‍රදේශයේදී බිරිඳ හා දරු දෙදෙනා සිය නිවස තුළ දී මරා දැමීමේ චෝදනාවට වරදකරු කෙරුණු විජයමුනි මධුර මනුරංග ද සිල්වාට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි පසුගිය නොවැම්බර් 07 වැනිදා මරණීය දණ්ඩනය නියම කළේය. බියංකා නානායක්කාර
 

More News..