brand logo

පවුලම කලාකාරයෝ නිසා මටත් ඒ අවස්ථාව ලැබුණා

28 March 2021

‘සරලා’ තමයි මේ දවස්වල දෙවෙනි ඉනිමේ ආකර්ෂණීයම චරිතය. දෙවෙනි ඉනිමේ මයික්ට පෙම් කරන ඇය කාගේ කවුද? ඇය තමයි උදාරි සෞභාග්‍යා. ඒ විතරක් නෙවෙයි ඇය රංගනයට අහම්බයකුත් නෙවෙයි. සිනමාවේ සහ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් දෙපළකගේ සෙවණේ හැදී වැඩී රංගනයට සපැමිණි සිටින උදාරි සමග මොහොතක් කතා කළා... උදාරිට රංගන වරම් ලැබෙන්නෙ කොහොමද... මට රඟපාන්න අවස්ථාව ලැබෙන්නේ මගේ මාමා නිසයි. මගේ මාමගේ හිතවතෙක් තමයි දෙවෙනි ඉනිමේ අධ්‍යක්ෂවරයා වන සාරංග මෙන්ඩිස් අයියා. දවසක් සාදයකදී සාරංග අයියා මාව දැකලා මට තිර පරීක්ෂණයට එන්න කිව්වා. ඊට පස්සෙ තමයි මාව දෙවෙනි ඉනිමේ සරලගේ චරිතයට තෝරගත්තේ. හිටි ගමන් රඟපාන්න ඇරයුමක් ලැබුණම ඒ ඇරයුම ජීවිතය භාරගත්තෙ කොහොමද? මුලින්ම කැමරාවට මුහුණ දෙන අවස්ථාවෙ පුංචි තැතිගැන්මක් ඇතිවුණා. ඒත් රංගනය කියන එක අපේ පවුලට ආගන්තුක දෙයක් නෙවෙයි. මගේ සීයා රංගන ශිල්පියෙක්. ඔහු පියදාස විජේකෝන්. මගේ මාමත් රංගන ශිල්පියෙක්, ඔහු ප්‍රියන්ත විජේකෝන්. මගේ ඥාති සහෝදරිය අමන්දා සිල්වා ඇයත් රඟපානවා. ඒ තුන්දෙනාගේ ආභාසය නිසා මම හිතුවා මටත් රඟපාන්න පුළුවන් වෙයි කියලා. සරලාගේ චරිතය විතරමද මෙතෙක් රඟපාලා තියෙන්නේ... ඔව්, මම තවම රංගනයට ආවා විතරයිනේ. ටික කාලයකට වෙනත් නිර්මාණවලට යන්නෙ නැතිව මේ චරිතය කරගෙන ඉන්නවා. අනාගතයේ වෘත්තිය නිළියක් වෙන්නද අදහස... ඔව්. මට තවම වයස අවුරුදු විසි එකයි. දැන් මම පාසල් අධ්‍යාපනය අවසන් කරල ඉන්නේ. තව ටික දවසකින් අනෝජා වීරසිංහ මහත්මිය මෙහෙයවන අභින පාඨමාලාව හදාරන්න සැලසුම් කරගෙන ඉන්නවා. අනාගතයේ වෘත්තීය මට්ටමෙන් රංගනයේ යෙදෙන්න අදහසක් තියෙනවා. උදාරිට පවුලේ අයගෙන් රංගනයට උදව් ලැබෙනවද? මට ගෙදරින් ලොකු සහායක් ලැබෙනවා. මගේ පවුලේ අය නිසයි මට රඟපාන්න එන්න අවස්ථාවත් උදාවුණෙත්. මගේ මාමා රංගනය ගැන මට ගොඩක් දේවල් කියලා දෙනවා. ඒ විතරක් නෙවෙයි ජීවත් වෙන්න ඕන විදිහ ගැනත් මට කියලා දෙනවා. උදාරිට මේ කටයුතුවලදි උදව් ලැබෙන්නෙ මාමගෙන් විතරද? මම පුංචි කාලෙ පටන්ම අම්මගෙනුයි තාත්තගෙනුයි දුරස්වෙලා ඉන්නේ. මගේ භාරකාරයා මගේ මාමා. පොඩි කාලේ ඉඳන් මාව බලාගත්තේ මගේ මාමා ප්‍රියන්ත විජේකෝන්. ඒ වගේම මගේ නැන්දගේ දුවල දෙන්නා අමන්දා සිල්වා හා අමා සිල්වා කියන මගේ ලොකු අක්කියි චූටි අක්කියි එක්ක තමයි මම හැදුණේ වැඩුණේ. පුංචි කාලේ හීන දැක්කෙ මොනවගේ වෘත්තියක් කරන්නද... පුංචි කාලේ මම ආසාවෙන් හිටියා ටීචර් කෙනෙක් වෙලා පුංචි ළමයින්ට උගන්වන්න. පස්සේ මගේ ඥාති සහෝදරිය අමන්දා අක්කි එක්ක එයාගෙ තනියට ෂූටිං ගියහම මටත් නිළියක් වෙන්න ආස හිතුණා. මේ වෙද්දි දෙවෙනි ඉනිමේ ශිල්පීන් උදාරිගෙ සමීප හිතවතුන්ද... දෙවෙනි ඉනිමේ හැමෝගෙන්ම මට ලොකු සපෝර්ට් එකක් හම්බ වෙනවා. මේක මගේ පළවෙනි රංගනයනේ. මම මගේ චරිතය සැහැල්ලුවෙන් කරගෙන යන්නේ අනෙක් ශිල්පීන්ගෙන් සහාය ලැබෙන නිසයි. ඇත්තටම මම වාසනාවන්තයි මෙවැනි පිරිසක් හමුවීමට. සරලයි, උදාරියි කියන්නේ සමාන දෙන්නෙක්ද... සරලා කියන්නේ දඟකාර චරිතයක්, මයික් හැමෝගෙම ආදරය දිනාගත්ත ජොලි චරිතයක්. එයා පෙම් කරන යුවතිය විදිහටනේ සරලා දෙවෙනි ඉනිමට එක්වෙන්නේ. උදාරි කියන්නේ අනිත් අයට ප්‍රියමනාප විදිහට හිනාවෙලා ඉන්න කටකාර ගැහැනු ළමයෙක්. මම ගොඩක් ආදරය බලාපොරොත්තු වෙන කෙනෙක්. ඇඳුමෙන් පැලඳුමෙන් වුණත් මම සරලා විදිහට සරලව අඳින්නේ නැහැ, වැඩිපුර විලසිතා කරනවා. උදාරිට බලාපොරොත්තු වෙන තරම් ආදරය ලැබෙනවද... ම්... ඒකට මම කොහොමද උත්තර දෙන්නේ? මට මගේ මාමාගෙන් සහ මගේ අක්කිලාගෙන් ආදරය ලැබෙනවා. මම මගේ වටපිටාවේ ඉන්න හැමෝටම, සතුන්ට පවා ආදරය කරනවා. ඒ නිසා මගේ හිතේ හැම වෙලාවෙම ආදරය තියෙනවා කියලා මට හිතෙනවා. පෙම්වතෙක්ගෙන් ආදර ආරාධනාවක් තවම ලැබිල නැතිද... එහෙම ආරාධනා ඇවිත් තියෙනවා. මම ආදරයක් පටන් ගන්නෙ නැහැ කියන්නේ නැහැ. හොඳ කෙනෙක් හම්බ වුණොත් ගෙදර අයගෙත් කැමැත්ත පරිදි ඒ ගැන හිතලා බලනවා. මේ දවස්වල සරලගේ චරිතයට ලැබෙන ප්‍රතිචාර ගැන පවසනවා නම්... මම ඒ චරිතය හොඳට කරනවා කියනවා. මම පළවැනි වතාවට රඟපාන කෙනෙක් කියලා හිතාගන්න බැරි විදිහට රඟපානවා කියලත් කියනවා. උදාරිත් ජිම් යන, සැලෝන් යන, කටකතා හැදෙයි කියල පරිස්සමට ජීවත්වෙන නිළියක්ද... මම ජිම් යන්නෙ නැහැ. සාමාන්‍ය විදිහට කාලා බීලා ගෙදරට වෙලා ඉන්නවා. රංගන ක්ෂේත්‍රයේ විතරක් නෙවෙයි ඕනෑම ක්ෂේත්‍රයක ලස්සනට තමන්ගේ වැඩේ කරලා හොඳින් හිටියොත් හොඳ ගමනක් යන්න පුළුවන්. ධම්මිකා සුරංජි පතිරණ
 

More News..