brand logo

පල්ලියක යාඥා කරමින් සිටි 34ක් නිරෝධායනයට

13 May 2021

රාමසාන් සමය වුවද පැතිර යන කොරෝනා වසංගතය සමග පල්ලියක් තුළ එක් අයකුට පමණක් යාඥා කිරීමට නියම කර තිබියදී ගම්පොළ නගරයේ පල්ලියක 34 දෙනකු එක ගොඩේ යාඥා කරමින් සිටියදී උඩපළාත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි එම්.එච්.එම්. ෂාහිම් ඇතුළු පොලිස් කණ්ඩායමක් ගොස් එම 34 දෙනා ඇතුළු ඔවුන්ගේ සියලු පවුල්වල සාමාජිකයන් දින 14කට නිරෝධායනයට ලක් කර තිබේ. මෙම පල්ලියේ සභාපතිවරයාද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කරන බව ගම්පොළ පොලිසිය පවසයි. මෙම පල්ලිය තුළ සෞඛ්‍ය නිර්දේශයන් කිහිපයක්ද ක්‍රියාත්මක නොකර ඇති අතර පැමිණෙන අය සඳහන් කරන පොත නොලියා මෙසේ යාඥා සිදු කරන බව හෙළි වූ බවද සෞඛ්‍ය වෛද්‍යවරයා පැවසීය. රාමසාන් සමය තුළ මුස්ලිම් භක්තිකයා දිනකට පස් වතාවක් වැඳිය යුතු වුවද පැතිර යන කොරෝනා වයිරසයේ භයානක බව සලකා මිනිසුන්ගේ ජීවිත බේරා ගැනීමේ අරමුණින් මෙම පල්ලියද දින 14ක් පුරා වසා දැමීමට කටයුතු කළ බවද ෂාහිම් මහතා සඳහන් කළේය. පෙරේදා (11 වැනිදා) රාත්‍රියේ දී මෙම පිරිස මෙසේ පල්ලියේ වඳිමින් සිටියදී සෞඛ්‍ය අංශ හා පොලිසිය පල්ලි ආශ්‍රිතව සිදු කළ සෝදිසියකදී මොවුන් මෙසේ හමු වී ඇත. සුරංග දිල්හාන් - ගම්පොළ
 

More News..